සා/පෙළ විභාගයේ හොර වැඩ කළ සිසුන් තුනකට වැඩ වරදී

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයට සිසුන් ඊයේ (9) පෙනී සිටියා.

එම විභාගය අතරතුර විභාග මධ්‍යස්ථාන තුනක සිසුන් කිහිපදෙනෙකු විසින් වංචනික ලෙස විභාග නීති උල්ලංඝනය කරමින් වට්ස්ඇප් මාර්ගයෙන් ප්‍රශ්නවලට අදාළ පිළිතුරු ගෙන්වා ගැනීමේ උත්සාහයක නිරත වී ඇති බවට විභාග දෙපාර්තුමේන්තුවට තොරතුරු ලැබී තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ පාසල් දෙකකින් හා හසලක ප්‍රදේශයේ එක පාසලකින් මෙම සිද්ධීන් වාර්තා වූ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

මේ සම්බන්ධයෙන් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදු වී නොමැති බවත් අදාළ සිසුන් විභාගය පැවැත්වෙන අතරතුර වෙනත් පුද්ගලයන් හරහා වට්ස්ඇප් මාර්ගයෙන් පිළිතුරු ගෙන්වා ගැනීමක් පමණක් සිදුවී ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වාදුන්නා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!