අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග රාජපක්ෂගේ මරණය සැක සහිත බවත්, ඒ අනුව ඔහුගේ මරණය ඝාතනයක්ද සිය දිවි නසගැනිමක්ද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් කුලියාපිටිය පොලිසිය පැවසීය .
පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් සහිතව ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල වැටී සිටි රංග රාජපක්ෂගේ සිරුර අසළ පිහියක් වැටී තිබූ බවත්, ඔහු වැඩී සිටි තැනට නොදුරුව විශාල ලේ පැල්ලමක් තිබූ බවත් කුලියාපිටිය පොලීසිය සඳහන් කරයි. කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය අද පස්වරුවේ එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර තිබෙන අතර පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි .
හැකර්වරුන් විසින් ව්‍යාජ ඊ මේල් පණිවුඩය මගින් ලබාදුන් බැංකු ගිණුමට මුදල් බැරකිරීමේ මූලික පියවර මෙම නිලධාරියාගේ නොසැලකිල්ල මත සිදුව ඇති බව මේවන විට තහවුරුව ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මොහු අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි . ඔහුගේ පරිගණකය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ බවත්, විමර්ශන සඳහා ඔහු හොඳින් සහය දි ඇතිබවත් විමර්ශන නිලධාරීන් සඳහන් කළේය .