වරකාපොළ වාහන තදබදයට ලැබෙන විසඳුම

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකපොළ නගරය ආශ්‍රිතව ඇති වන දැඩි වාහන තදබදයට පිළියම් ලෙස යෝජනා වී ඇති විකල්ප මාර්ගයේ කටයුතු කඩිනමන් ආරම්භ කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් එහි කටයුතු අතරමග නවතා දමා තිබුණා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සාකච්ඡාවක් පැවැති අතර එහි දී ඉදිරිපත් වූ කරුණු තවදුුරටත් ඉදිරියට සැලසුම් කිරීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක් අතරතුර මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ජූලි මස 15 වැනිදාට පෙර අදාළ කටයුතු ආරම්භ කිරීමට එහි දී එකගත්වය පළ වුණා. මේ සඳහා රුපියල් මිලියන 900ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!