විභාගයට ගිය සිසුවියන් දෙදෙනෙක් අතුරුදහන් – පොලීසියෙන් ඇහෙන කතාව

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඊයේ (14) දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙක් ආපසු තම නිවාස වෙත නොපැමිණි බව පවසමින් ඔවුන්ගේ භාරකරුවන් ගිනිගත්හේන පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අදාළ සිසුවියන් දෙදෙනා ඊයේ (14) උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බව පැවසෙනවා.

අදාළ සිසුවියන් දෙදෙනගෙන් එක් සිසුවියක් දෙමාපියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවට පැමිණිල්ලේ සඳහන් වනවා.

ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පොලීසිය විසින් සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ ඔවුන් දෙදෙනා විභාගය ආරම්භ වීමට පෙර විභාග මධ්‍යස්ථානය අසල කතා කරමින් සිටි බවට සිසුන් කිහිපදෙනෙකු දැක ඇති බවත් ,ඉන් මද වේලාවකට පසු ඔවුන් නාවලපිටිය නගරයේ නිල ඇඳුමින් සිට ඇති බවයි.

අතුරුදන් වූ සිසුවියන්ගේ තොරතුරු මේ වනවිට සියලු පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගිනිගත්හේන පොලීසිය ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!