”රුපියල අවප්‍රමාණය වන්නේ ඇයි ” මහ බැංකුව හේතු කියයි.

ශ්‍රී ලංකා රුපියල මේ වසර තුළ අවප්‍රමාණය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය තෙල් මිල ඉහළ යාම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය .

අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, තෙල් ආනයනය සඳහා විදේශ විනිමය අවශ්‍යතාව ඉහළ යාමත් සමඟ රුපියල මත පීඩනයක් එල්ල වී ඇති බවය.

ඔහු පෙන්වා දුන්නේ 2026 වසර තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 4.8කින් අවප්‍රමාණය වී ඇති අතර, ඉන්දියානු රුපියල සියයට 6.4කින්, නේපාල රුපියල සියයට 6.2කින් සහ ඉන්දුනිසියානු මුදල් ඒකකය සියයට 5.2කින් අවප්‍රමාණය වී ඇති බවය.

ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තත්ත්වයක් නොවන අතර, තෙල් ආනයනය මත විශාල වශයෙන් රඳා පවතින රටවල් රැසකටම පොදුවේ බලපා ඇති ගෝලීය ආර්ථික කම්පනයක ප්‍රතිඵලයක් බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම 2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වූයේ රට තුළ පැවති විශේෂිත ආර්ථික ගැටලු හේතුවෙන් බවත්, වර්තමාන තත්ත්වය ඊට වඩා වෙනස්ව ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඇති වූ බලපෑම් සමඟ සම්බන්ධ බවත් ඔහු පැවසීය.

විනිමය අනුපාතයේ වෙනස්වීම් පමණක් පදනම් කරගෙන රටක ආර්ථිකය කඩා වැටී ඇති බවට නිගමනය කිරීම නිවැරදි නොවන බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.