රතුගල නව ආදිවාසී නායකයා මාලිමාවේ සාමාජිකයෙක් නොවෙයි .

රතුගල ආදිවාසී ජනතාවගේ නව නායකත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍ය ජාලයන්හි පළවන තොරතුරු අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් රතුගල ආදිවාසී සංවර්ධන සමිතිය පවසයි .

මේ සම්බන්ධයෙන් එම සමිතිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩාරලාගේ සුදා වන්නියා ඇත්තන්ගේ අභාවයෙන් පසු, පුරප්පාඩු වූ නායකත්වයට නව නායකයෙකු පත් කිරීම පසුගියදා චාරිත්‍රානුකූලව සිදුකෙරුන බවයි .

ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත සිදු වූ බවත් රතුගල නව ආදිවාසී නායකයා ලෙස පත් කරනු ලැබුවේ අභාවප්‍රාප්ත සුදා වන්නියා ඇත්තන්ගේ වැඩිමහල් පුත්‍රයා වන දානිගල මහ බණ්ඩාරගේ නිශාන්ත කුමාර බවත් එම නිවේදනයේ දැක්වෙයි .

එමෙන්ම රතුගල ආදිවාසී නායක නිශාන්ත කුමාර ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාවක සභාපතිවරයෙකු හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන බවද එම නිවේදනය අවධාරණය කරයි .

ඇතැම් මාධ්‍ය ඔහුගේ නම ‘නිපුන’ ලෙස සඳහන් කිරීම වැරදි බවත්, ඔහු විශ්වවිද්‍යාල සිසුවෙක් නොවනා බවත් එම නිවේදනයේ දක්වෙයි . ආදිවාසි නායකත්ත්වයට පත්වීමෙන් පසු ඔහු ඇත්තන් හෝ ඇත්තෝ ලෙසින් හඳුන්වනු ඇතිබවත්, අනාගතයේදී වරිග සභාව විසින් නිෂාන්ත කුමාර යන නම වෙනුවට සුදුසු වෙනත් නමක් ලබාදෙනු ඇති බවත් එහි සඳහන් වෙයි .

පත්වීම ලබන විට ඔහු 26 හැවිරිදි වියේ පසුවූ බවත්, රතුගල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැකියාවක් කරමින් සිටි අයෙක් බවත් එම නිවේදනයේ සඳහන් වෙයි .