බලශක්ති අමාත්‍ය ධුරයහි වෙනසක් සිදු වුවද, අත්‍යවශ්‍ය සේවාවන් වන විදුලිය සහ ඉන්ධන ජනතාවට අඛණ්ඩව ලබා දීමේ රජයේ මූලික ප්‍රතිපත්තිය බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අවධාරණය කරයි. ඔහු මේ බව පැවසූවේ බලශක්ති අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි .
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය දිගුකාලීන ඉලක්ක මත පදනම්ව ස්ථාවරව පවත්වාගෙන යන බවත්, අමාත්‍යාංශයේ විනිවිධ බවකින් සහ මනා කළමනාකරණයකින් යුතුව පවත්වාගෙන් අයන බවත් ඔහු පැවසීය . විපක්ෂය එල්ල කරන විවේචනවලට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා, දූෂණ හෝ අක්‍රමිකතා පිළිබඳව කිසියම් නිශ්චිත සාක්ෂියක් ඇත්නම් ඒවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෝ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කරනා ලෙස ඉල්ලා සිටියේය.
වැඩි දුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය .
“නව අමාත්‍යවරයා ලෙස මට විශේෂ පියවර ගැනීමට අවශ්‍ය නැහැ. හිටපු අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ නිලධාරී මඩුල්ල දැනටමත් අවශ්‍ය මූලික පියවර ගෙන තිබෙනවා. එම සැලසුම් ක්‍රියාත්මක කළහොත් අපට විදුලි කප්පාදුවකට යාමට අවශ්‍ය වන්නේ නැහැ. මගේ කාර්යය වන්නේ එම කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ රාජ්‍ය මැදිහත් වීම ලබා දීමයි.”
ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය රජයේ පාලනයෙන් බැහැර කරුණු වුවද, ඉන් මහජනතාවට වන බලපෑම අවම කිරීමට රජය බැඳී සිටින බව අමාත්‍යවරයා පැවසීය. “මිල සම්බන්ධ ඇතැම් සිදුවීම් පාලනය කිරීමට අපට නොහැකි වන්නට පුළුවන්. නමුත් කුමන තත්ත්වයක් යටතේ වුවද විදුලිය සහ ඉන්ධන අඛණ්ඩව සැපයීමට අපි කටයුතු කරනවා,” යැයි ඔහු වැඩිදුරටත් සහතික විය.
පසුගියදා ඉල්ලා අස්වූ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිද මෙම අවස්ථාවට එක්ව සිටියේය.