අකුණු ගගහා වහිනවා – වැස්ස ලංකාව ගෙදර යවයිද ?

ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12) අළුයම 5.00ට ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගයට වැස්ස හරස්වෙයිද යන ප්‍රශ්නය මේ වන විට පැනනැගී තිබෙනවා.

මෙම තරගය හෙට පැවැත්වෙන්නේ ලෝඩර්හිල්හිදීයි.

දැනට ලැබී ඇති වාර්තා අනුව මෙම ප්‍රදේශයට දින කිහිපයක සිට අකුණු සහිතව දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතින අතර රාත්‍රි කාලයේ වර්ෂාවේ වැඩිවීමක් ද පවතින බව සඳහන් වනවා.

තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ අකුණු අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති අද දිනයේද විටින් විට නාද වී ඇති බව වාර්තා වනවා.

කෙසේනමුත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (10) පැවති තරගයෙන් බංලාදේශ කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමත් සමග අවසන් අට දෙනා අතරට යාමට ශ්‍රී ලංකාව කණඩායමට තවදුරටත් සීමිත අවස්ථාවක් ඉතිරි ව තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ මුල් වටයේ ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති නෙදර්ලන්තය හා නේපාලය සමග වන තරග වැඩි ලකුණු පරතරයකින් ජයගෙන ඉහළ දළ ලකුණු වේගයක් ලබා ගැනීම අනිවාර්ය වනවා.

එමෙන්ම බංලදේශ කණ්ඩායමද තමන්ගේ ඉදිරි තරග දෙකෙන් එකක් හෝ නේපාලය හා නෙදර්ලන්තය හමුවේ වැඩි ලකුණු ප්‍රමාණයකින් පරාජය වීමද අත්‍යවශ්‍යව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!