කුලියාපිටිය තරුණයාගේ සිරුර තිබූ තැන තවත් සිරුරක් තිබිලා

අමානුෂික ලෙස ඝාතනය කර කුලියාපිටිය පනිරෙන්ඩාව මහා රක්ෂිතයට ගෙනැවිත් දමා තිබූ කුලියාපිටිය සුසිත් ජයවංශ නමැති තරුණයාගේ මළසිරුර හමුවූ ස්ථානය ආසන්නයේම තිබී තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක කොටස් මීට පෙරද හලාවත අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

නමුත් මෙතෙක් එම සිරුර සහිත ඇටකටු කාගේදැයි අනාවරණය වී නැති බව හලාවත ස්ථාන පරීක්ෂණාගාරය පවසනවා.

මෙම මිනිස් ඇටකටු සොයාගෙන ඇත්තේ, මීට මාස 7කට පෙර එනම් 2023 වසරේ 10 වන මස 26 වැනිදායි.

එමෙන් ම, මෙම සිරුර සහිත ඇටකටු තිබී ඇත්තේ පසුගිය දා සොයාගත් සුසිත් ජයවංශගේ සිරුරට ආසන්නවයි.

මාදම්පේ පොලිස් වසමේ පිහිටි පනිරෙන්ඩාව රක්ෂිතය තුළ මිනිසෙකුගේ මළ සිරුරක් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත හලාවත කොට්ඨාසයේ අපරාධ ස්ථානීය පරීක්ෂණාගාරයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළ බව වාර්තා වනවා.

මිනිස් සිරුරක් දියවී ගොස් ඇටකටු බවට පත්ව ඇති අයුරු අදාළ විමර්ශන සිදුකරන අවස්ථාවේදී නිරීක්ෂණය වී තිබෙනවා.

එම ඇටකටු සහිත සිරුර ද තිබී ඇත්තේ සුසිත්ගේ සිරුර හමු වූ ස්ථානයට නුදුරින් මහෝගනී ගසක් මුල තිබියදීයි.

මියගිය පුද්ගලයා දිගු කලිසමක් ඇඳ සිට ඇති අයුරු නිරීක්ෂණය වන අතර කලිසමේ පහළ කොටස පෙනෙන්නට නොවූ අතර දෙපාවල ඇටකටු මතුවී තිබීම දක්නට ලැබී තිබෙනවා.

එම පුද්ගලයා ඇඳ සිටි කලිසමේ පටිය, ඒ අසලම ඔහු පැළඳ සිටි බවට විශ්වාස කෙරෙන සෙරෙප්පු දෙක තවත් තැනක තිබී හලාවත අපරාධ පරීක්ෂණ නිලධාරීන් සොයාගන්නට සමත් වුණා.

උකුල් ඇටය සහිත ශරීරයේ පහළ අස්ථි වෙනමත්, හැඳ සිටි බවට විශ්වාස කරන ටී ෂර්ට් එක තවත් තැනකත් , තිබී සොයාගෙන තිබෙනවා.

එසේම ඒ අසල ම බෑගයක් දක්නට ලැබී ඇති අතර හිස්කබල ශරීරයෙන් බැහැරව තිබීමද දැකගත හැකි වුණා.

එම පුද්ගලයා වස පානය කළ බවට තොරතුරක් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට අනාවරණය වී නොමැති බවත් ඒ බවට ආඝ්‍රාණය වන දුගඳක් ද නොමැති බව නිලධාරීන් පවසනවා.

මහෙස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිරුර නිරීක්ෂණය කළ අතර පසුව එම ඇටකටු සහිත සිරුර හලාවත ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත භාරදෙනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම ඇටකටු හමුවීම සම්බන්ධයෙන් දිවයින පුරා ස්ථාපිත පොලිස් ස්ථාන දැනුවත් කළ ද මේ වනතුරු කිසිදු පුද්ගලයෙකු එම ඇටකටු සහිත සිරුර හඳුනාගැනීමට පැමිණ නැති බව වාර්තා වනවා.

ඇටකටුවල ඇති කලිසම සහ කමිසයෙන් කිසියම් පුද්ගලයෙකු අතුරුදන් වූයේ නම් එය හඳුනා ගැනීමට හැකිවුවත් එවැන්නක් ද මෙතෙක් සිදුවී නැති බවත් සඳහන් වනවා.

රක්ෂිතයට ඇතුළු වන මහපාරේ සිට ඇටකටු සොයාගෙන ඇති ස්ථානයට දුර මීටර 100ක් පමණ ඇති බවත්, සිරුර රක්ෂිතයේ වෙසෙන සතුන් විසින් කා දමා ඇති බවත් පොලීසිය පවසනවා.

මොහුගේ ඇටකටු හමු වූ ස්ථානය ආසන්නයේ තිබී පසුගියදා සොයාගැනුණු මරා දමන ලද කුලියාපිටිය තරුණයාගේ ස්ථානීය පරීක්ෂණ කළ නිලධාරීන් විසින් ම මෙම ඇටකටු සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වනු ලබනවා.

කිසියම් පුද්ගලයෙකු මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව සිටින්නේ නම් වහාම හලාවත පොලීසියෙන් හෝ අධිකරණ වෛද්‍ය කාර්යාලයෙන් මේ බව විමසිය හැකි බව පොලීසිය පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!