විජයදාසගේ නඩුව නැවතත් විභාගයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත්වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (21) බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද යළි කැඳවනු ලැබුවා.

එහිදී විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ,

”කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අය කොළඹ දිසා අධිකරණ බලසීමාවේ පදිංචිකරුවන් නොවන බව දිසා විනිසුරුවරයා විසින් තීරණය කිරීම නිසා එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබූ වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බව” යනුවෙනි.

එහිදී ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ එම තත්ත්වය යටතේ අදාළ පැමිණිල්ල සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ නොකොට එය සංශෝධනය කිරීමට අවසර දීම සඳහා දිසා විනිසුරුවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවටයි.

එසේම විත්තිකරු කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විත්තිකාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ,

”පෙත්සම්කාර විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු නොවන අතර ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය දැරීමට කිසිදු නිත්‍යානුකූල හිමිකමක් නොමැති බව” යි.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂ මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු එම පක්ෂයේ සභාපති ධුරය සඳහා පත් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා.

අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය හෙට (22) දිනය තෙක් කල් තැබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!