සුපිරි කණ්ඩායම් ගැටෙන ‘යොවුන් කාන්තා තුන්කොන් සටන’ අද ඇරඹෙන හැටි

අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අද (28) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව,ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය සහභාගිවන මෙම තරගාවලිය ලබන මස 9 වැනිදා දක්වා පැවැත්වෙනවා.

මේ තරගාවලිය විස්සයි20 සහ එක්දින ආකෘති ද්විත්වයෙන්ම පැවැත්වීම විශේෂත්වයක් වනවා.

ඒ අනුව 3 වැනිදා දක්වා හම්බන්තොටදී විස්සයි20 තරගාවලිය පැවැත්වෙන අතර, එහිදී සෑම කණ්ඩායමක්ම තරග 4ක් ක්‍රීඩා කළ යුතුයි. අනතුරුව ලබන මස 5 වැනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරගාවලිය ආරම්භ වන අතර, එහිදී එක් කණ්ඩායමක් තරග 2ක් ක්‍රීඩා කළ යුතුවනවා.

මේ තරග සියල්ල අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ශූරතාව පිරිනැමෙනු ඇති. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව පිල අද පෙරවරු 10.00ට ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු තරගයට එක්වනවා.

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතය – මනුදි නානායක්කාර (නායිකාව), රශ්මිකා සෙව්වන්දි (උපනායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, ශෂිනි ගිම්හානි, රිස්මි සංජානා, දෙව්මි විහංගා, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), රශ්මි නේත්‍රාංජලී, දහමි සනෙත්මා, විශ්මි සවිඳි, අෂානි කෞශල්‍යා, යසන්ති නිමන්තිකා, නෙත්මි සේනාරත්න, හිරුණි හංසිකා, චමෝදි ප්‍රබෝධා.

තරග කාලසටහන

විස්සයි20

අද (28): ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව හම්බන්තොටදී

හෙට (29): ඔස්ට්‍රේලියාව – එංගලන්තය හම්බන්තොටදී

මාර්තු 30 දා: ශ්‍රී ලංකාව – එංගලන්තය හම්බන්තොටදී

අප්‍රේල් 1 දා: ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව හම්බන්තොටදී

අප්‍රේල් 2 දා: ඔස්ට්‍රේලියාව – එංගලන්තය හම්බන්තොටදී

අප්‍රේල් 3 දා: ශ්‍රී ලංකාව – එංගලන්තය හම්බන්තොටදී

එක්දින තරග

අප්‍රේල් 5 දා: ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව ගාල්ලේදී

අප්‍රේල් 7 දා: ඔස්ට්‍රේලියාව – එංගලන්තය ගාල්ලේදී

අප්‍රේල් 9 දා: ශ්‍රී ලංකාව – එංගලන්තය ගාල්ලේදී

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!