ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පරදා ‘දකුණු අප්‍රිකාව’ ඉතිහාසගත ජයක් ලබයි

පළමු විස්සයි20 තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 79කින් පරාජය කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වුණා.

දෙරට අතර කාන්තා විස්සයි20 තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු පරතරය අනුව හිමි කර ගත් ඉහළම ජයග්‍රහණය ලෙස ද මෙය සටහන් වනවා.

මේ සමග තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද සත්කාරක ක්‍රීඩිකාවෝ සමත් වුණා.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ ලකුණු 198ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනුයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ලෝරා වොල්වාඩ්ට් සිය මංගල විස්සයි20 ශතකය ලෙස ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුණා.

හතරේ පහර 12කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වූ ඇයගේ ඉනිමට වැය වූයේ පන්දු 63ක් පමණයි..

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 18.2කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 119ක් පමණයි.

පන්දු 3කට මුහුණදුන් නායිකා චමරි අතපත්තුගේ ඉනිම එක් ලකුණකට සීමා වූ අතර, විශ්මි ගුණරත්නට පන්දු 9කින් රැස් කළ හැකි වූයේ ලකුණු 8ක් පමණයි.

දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය මේ 30 වැනිදා පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකානු කාන්තා පිල – 198/5 (ඕවර 20) ලෝරා වොල්වාඩ්ට් 102, මැරිසාන් කාප් 60 (අචිනි කුලසූරිය 39/2)

ශ්‍රී ලංකා කාන්තා පිල – 119 (ඕවර 18.2) හර්ෂිතා සමරවික්‍රම 38, හසිනි පෙරේරා 30, අනුෂ්කා සංජීවනී 14 (ඇනරී ඩර්ක්සන් 15/2, ටුමි සේකුකුනේ 25/2)

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!