TIN ගන්න ලේසි ක්‍රමයක් හඳුන්වාදෙන තෙක් ඉවසන්න .

බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල ඉදිරිපිට පෝලිම්වල රැඳී නොසිටින ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

TIN අංකය ලබාගැනීම පහසු කිරීම සඳහා නව විකල්ප ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගනිමින් සිටින බවත්, එබැවින් ඒ සඳහා අනවශ්‍ය ලෙස කලබල නොවනා ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය .

රියදුරු බලපත්‍ර, ආදායම් බලපත්‍ර ලබා ගැනීම හෝ බැංකු ගිණුම් විවෘත කිරීම වැනි සේවාවන් සඳහා ජනතාවට මින් ඉදිරියට TIN සහතික ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණීමට අවශ්‍ය නොවන පරිදි නව ක්‍රමවේදයක් ඇතුළත් විශේෂ නිවේදනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නුදුරේදීම නිකුත් කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

යෝජිත නව ක්‍රමවේදය යටතේ, TIN සහතිකයක් සඳහා මෙතෙක් ලියාපදිංචි වී නොමැති පුද්ගලයින්ට, තමන් සේවාව ලබා ගැනීමට අපේක්ෂා කරන ආයතනය වෙත තමන්ගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්, දැනට භාවිත කරන ජංගම දුරකථන අංකයක් සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දීමට පහසුකම් සැලසේ.

ඉන්පසුව, අදාළ ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සෘජුවම සම්බන්ධ වී, ඉල්ලුම්කරුට අවශ්‍ය සේවාව සපයන අතරතුරම ඊට අදාළ TIN ක්‍රියාවලිය ද සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ඇත.

අදාළ ආයතනය විසින් ඉල්ලුම්කරුගේ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන අතර, දෙපාර්තමේන්තුව මඟින් අදාළ TIN අංකය හෝ ආදායම් බදු අංකය ඉල්ලුම්කරු ලබාදුන් විද්‍යුත් තැපැල් ලිපිනයට පසුව නිකුත් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය. මීට අමතරව, පුද්ගලයින්ට තම හැඳුනුම්පත් අංකය සහ ලියාපදිංචි විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත පද්ධතිය ඔස්සේ ද TIN සහ ආදායම් බදු සහතික ලබා ගැනීමට හැකි වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

අද(03) පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය .