බීමත් රියදුරන් අල්ලන බැලුන් නැහැ – රට පුරා පොලිසිවල ඇත්තේ 1500යි

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ දී උපයෝගී කරගන්නා බැලුන් හිඟවීමෙන් පොලිස් ස්ථාන රැසක ම ස්ථානාධිපතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ජාතික පුවත්පතක් අද (19) වාර්තා කළා.

එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ වනවිට පොලිස් ස්ථානවලත්, රථවාහන කොට්ඨාසයේත් ඇත්තේ බීමත් රියදුරන් පරීක්ෂා කරන බැලූන් එක්දහස් පන්සියයක් පමණ බවයි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී ඔවුන් මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සදහා ඊට විශේෂිත වූ බැලූන් වර්ගයක් (Breath alcohol test) භාවිත කරන අතර එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට බොහෝ පොලිස් කොට්ඨාසවලත් ඒ ඒ කොට්ඨාසවලට අයත් පොලිස් ස්ථාන වෙතත් ප්‍රමාණවත් බැලූන් නොමැතිවීම මත බීමත් රියදුරන් අත්අඩංගුවට පත්වීම අඩු වී තිබෙන බවයි එම පුවත් වාර්තාව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරමින් වාර්තා කරන්නේ.

මේ අතර එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ, බීමත් රියදුරන් පරීක්ෂාවට ලක්කරන බැලූන් එක්ලක්ෂ පනස් දහසක් විදේශයේ සිට ගෙන්වා ගැනීම සඳහා සිදුකළ ටෙන්ඩර් ක්‍රියාවලිය ද අවසන් කර තිබෙන බව පොලිස් මූලස්ථානයේ ප්‍රධානියකු පැවසූ බවයි.

තව ද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදන මණ්ඩලය වෙත එම වාර්තා ඉදිරිපත් කර තිබෙන බවත් නොබෝ දිනකින් එම බැලූන් ගෙන්වන බවත් එම නිලධාරියා සඳහන් කරන බවත් එම පුවත් වාර්තාව වැඩිදුරටත් දක්වනවා.

මේ අතර එම පුවත් වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ, මෙම බැලුන් හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, බීමත් රියදුරන් පරීක්ෂා කරන බැලූන් උපකරණ දස දහසක් පමණ දිවයින පුරා පොලිස් ස්ථානවල තිබෙන බවත්, අලුතින් බැලුන් උපකරණ ගෙන්වන තෙක් මෙම උපකරණ භාවිත කළ හැකි බවයි යනුවෙන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!