තොරණ බැලුවට වියදම් දන්නවද? ඇස් උඩ යන බිලේ කතාව

2024 වසරේ ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වනවා.

අද සිට ලබන 27 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

වෙසක් කියලා කියනකොට අපිට මතක් වෙන්නේ තොරණ රැසක් සහ දන්සල්.

කුඩා දරුවන් පටන් වැඩිහිටි සියලු දෙනා නරඹන්න කැමති දෙයක් තමයි තොරණ කියලා කියන්නේ.

මිනිසුන් තොරණක් දැකලා කොච්චර සතුටක් ලබනවද

ඒ සතුට අපිට ලබදෙන පුද්ගලයෙකුගේ සංවේදී කතාවක් තමයි දැන් අපි ඔබට කියන්නේ .

මේ පුද්ගලයා ජීවත් වෙන්නේ කොට්ටාව ප්‍රදේශයේ.

ඔහු කොට්ටාව වෙළඳ සංගමය හා එක්ව සෑම වසරකම එම ප්‍රදේශයේ තොරණක් ඉදිකිරීමට සහය වනවා.

ඔවුන් මෙවර ඉදිකරන්නේ 66වන තොරණ සහ ඔහු ඉන් 20ක් පමණ ඉදිකර ඇති බව පවසනවා.

මුණි සිරිපා වත නමින් ඔවුන් මෙවර තොරණ ඉදිකරනවා .

එම පුද්ගලයා පවසන ආකාරයට ඔවුන් සකස් කරන තොරණ විදුලි බුබුළු 60000කින් සමන්විත වන අතර උස අඩි 55ක් සහ පළල අඩි 50ක් පමණ වනවා.

තොරණක් ඉදිකිරීමට විශාල මුදලක් වැය වන බවත් හරි අමාරුවෙන් ඒ දේ කරනගෙන යන බවත් ඒ මහතා පවසනවා.

අද ඩොලර් අගයට සාපේක්ෂව බල්බ 60000කින් යුක්ත තොරණක් නිර්මාණය කිරීමට ලක්ෂ 35ක් පමණ වැය වන බවත් ඔහු සඳහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දක්වන ඒ පුද්ගලයා ,

”අපි ළඟ බඩු මුට්ටු තියෙන හින්දා අපි මේ විදිහට කරගෙන යනවා. නමුත් අලුත්ම බඩු අරගෙන කරනවා නම් මංහිතන්නේ නෑ ලක්ෂ 60 -70 කටවත් කරන්න පුළුවන් වෙයි කියලා.

මේ තොරණ 2002 අවුරුද්දේ දෙලක්ෂ හැත්තෑ පන්දහසකට කරේ. දෙලක්ෂ හැත්තෑ පන්දහසකට කරපු තොරණ තමයි දැන් මේ වගේ මිලක් වෙලා තියෙන්නේ.

ඒ කාලේ තිබුණු බදුත් එක්ක අලුතෙන්ම අරගෙන කරන්න ගියේ දෙලක්ෂ හැත්තෑ පන්දහසක් විතර. දැන් කරන්න ගියොත් ලක්ෂ 60- 70ක වගේ වියදමක් යනවා. ට්‍රාන්ස්පෝර්ට් වියදම වැඩි, බඩු මිල වැඩි, හැමදෙයක්ම වැඩි.

කොරෝනාවලට කලින් අපි තොරණක් හැදුවා ලක්ෂ 15කට 16කට වගේ. අපි මේ බිස්නස් එක කරගෙන ආපු හින්දා ලක්ෂ 16ක් ගන්නවා. ඒත් වියදම ඊටවඩා වැඩි.ඒ කියන්නේ අපි මූලික වියදම කරලා තියෙන නිසා අපිට ලේසියි. කොරෝන වලින් පස්සේ වියදම ලක්ෂ 29කින් විතර වැඩි වෙලා තියෙනවා.

ඒත් ගිය අවුරුදට සාපේක්ෂව පුංචි වෙනසක් වෙලා තියෙනවා.ගිය අවුරුද්දේ අපි මීට වඩා කුඩා තොරණක් කරේ. ඒත් එකට ලක්ෂ 25ක් විතර ගියා.” යනුවෙන් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!