නව මත්පැන් බලපත්‍ර ලබාදීමට පදනම් වන සාධක

නව මත්පැන් බලපත්‍ර ලබාදීමට ක්‍රියාකරන්නේ රටේ ජනගහනය, සංචාරකයින්ගේ පැමිණිම වැනි සාධක පදනම් කරගෙන පමණක්ම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

සතොස ආයතනයට අයත් මත්පැන් බලපත්‍ර 100න් 55ක් අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් වෙනත් සමාගම් වෙත පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඊයේ (20) සවස කරවනැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

මත්පැන් සමාගම් වලින් අයවිය යුතු බදු මෙතරම් බලපෑමක් සිදුකොට ,මෙතරම් ක්‍රමානුකූලව අයකළ වෙනත් යුගයක් නැති බව සඳහන් කළ අමාත්‍යවරයා ,චෝදනා එල්ල කර ඇති පරිදි සතොසට අයත් මත්පැන් බලපත්‍ර ලබාදෙන ලෙස කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවත්, එසේ ඉල්ලීම් ඉදිරිපත් වුවද මත්පැන් බලපත්‍ර තවත් අයෙකුට බදුදීම සිදුකළ නොහැක්කක් බවත් සඳහන් කර සිටියා.

එසේම අනීතික මත්පැන් වර්ධනය වීම පාලනය කිරීම රජයේ අරමුණ බවත්, යම් ප්‍රදේශයකට මත්පැන් බලපත්‍රයක් ලබාදෙන්නේ නම් එම ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් වරයාගේ සහ පොලිසියේ මතය විමසීම අනිවාර්යෙන්ම සිදුකරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

සාධාරණ විරෝධතාවයන් ඉදිරිපත් වන කිසිම මොහොතක එම ප්‍රදේශ වලට මත්පැන් බලපත්‍ර ලබානොදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

2003 වර්ෂයේ පමණක් බදු හේතුවෙන් මත්පැන් මිල 108 % කින් ඉහළ ගොස් ඇති බවත් , ඒ අනුව රජය කොයිම මොහොතකවත් නීත්‍යානුකූල මත්පැන් භාවිතය ඉහළ නැංවීමට කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

රජය තම හිතවතුන්ට මිත්‍රයන්ට මත්පැන් බලපත්‍ර ලබාදෙන බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා , මෙතෙක් කාලයක් රටබීම හල් සඳහා නිකුත් කරන රා.බී. 04 බලපත්‍රයක් නිකුත් කිරීමේදී මූලික ගෙවීමක් සිදු නොකළද මේ වන විට එම ගාස්තු ලෙස රුපියල් කෝටි එකහමාරක් ( මිලියන 15 ක් ) අය කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළා.

එසේම සියළුම මත්පැන් බලපත්‍ර සඳහා අයකරන වාර්ෂික ගාස්තුව දස ගුණයකින් ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළ අතර ඒ අනුව නීත්‍යානුකූල නොවන මත්පැන් වර්ධනය අවම කිරීම සහ නීත්‍යානුකූල මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීම යන කාරණා දෙකම ඉටුකිරීමට රජය කටයුතු කරමින් සිටින බව එහිදී අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!