විද්‍යා ඝාතන නඩුවෙන් සභාපති විනිසුරු ඉවත් වූ හේතුව

යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරිය පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක්කර මරා දැමීමේ සිද්ධිය 2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා.

එම සිද්ධිය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වී සිටින ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකු ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ පංච ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා ඊයේ (06) ඉවත්ව ඇති බව වාර්තා වනවා.

මෙම අභියාචනා ඊයේ (6) එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ඒ. එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවා තිබුණා.

තමා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කළ සමයේ මෙම නඩුවේ කටයුතු අධීක්ෂණය කර තිබෙන හෙයින් තමා මෙම අභියාචනා විභාගයෙන් ඉවත්වීමට තීරණය කළ බව පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයි රාජා මහතා එහිදී සඳහන් කළා.

අනතුරුව අදාළ අභියාචනා ජූලි මස 30 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

මෙහිදී අභියාචක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන නිසියාකාරව නොලැබීම නිසා මෙම නඩුවේ විභාගය වසර 06ක් පමණ ප්‍රමාද වී තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

පරිවර්තකයෙන්ගේ හිඟයක් පවතින හෙයින් මෙම කටයුතුවලද ප්‍රමාදයක් සිදුවී ඇති බව විනිසුරු තුරෙයි රාජා මහතා ඊට පිළිතුරු ලෙස සඳහන් කර තිබෙනවා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ පරිවර්තන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවත් දැනට සිදු කර තිබෙන පරිවර්තන අතරින් දෝෂ සහිත කොටස් නිවැරදි කිරීමේ කටයුතු කරමින් තිබෙන බවත් සඳහන් කර සිටියා.

ඒ අනුව පරිවර්තන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල එම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාළ අභියාචනා පෙත්සම් ජූලි මස 30 වනදා කැඳවන ලෙස නියෝග කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!