අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව පෙත්සම් 3ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ගොනුකර තිබෙනවා.

මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන විදුර රැළපනාව,ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සහ මාධ්‍යවේදීනී රුවනි ෆොන්සේකා යන අය විසින්.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, එහි නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබූ ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

දූෂණ විරෝධී පනතේ 19 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්කරනු ලබන පුද්ගලයා නීතිඥයෙකු විය යුතු අතර ඔහුට අපරාධ නඩු කටයුතු මෙහෙයවීම පිළිබඳව වසර 15ක පලපුරුද්දක් තිබිය යුතු බව පෙත්සම්කරුවන් කියා සිටිනවා.

මේ වන විට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්කර සිටින විජයරත්න මහතා අධිකරණ නිලධාරියකු වුවත් ඔහු එම මූලික සුදුසුකම සපුරා නොමැති බව පෙත්සම්වලින් පෙන්වා දී ඇති අතර, මෙම නව පත්කිරීම සිදුකිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථදායක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන් වෙත පැවරී තිබෙන වගකීම නිසියාකාරව ඉටුකිරීම පැහැර හැර තිබෙන බවත් චෝදනා කර තිබෙනවා.

ඒ අනුව අදාළ පත්කිරීම තුළින් වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට තිබෙන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබූ විජේරත්න මහතා එම ධුරයේ කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!