මුස්ලිම් පාසල්වල ගුරුහිඟයට ජනාධිපතිවරයාගෙන් විසඳුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවට එක් වෙමින්

මෙහිදී අදාළ නිලධාරීන් කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාවගෙන් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටලු පිළිබඳ ‍මෙහිදී අවධානය යොමු වූ බවයි.

සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය මුස්ලිම් සිසුන් සඳහා සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහම ඉගැන්වීමේ නිපුණතාවක් සහිත ගුරුවරුන්ගේ හිඟය පියවීම පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

විදුහල්පතිවරුන් සහ සංවිධාන නියෝජිතන් කොළඹ මුස්ලිම් පාසල් 19ක ආසන්න වශයෙන් ගුරුවරුන් 200ක පමණ හිඟයක් පවතින බවත් අවධාරණය කළා.

අදාළ ගුරු පුරුප්පාඩු සපුරාලීම සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් හඳුනාගෙන අවශ්‍ය පත්වීම් සිදුකරන ‍ලෙස ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!