හාලි ඇලට වැටුණු අයිස් කුට්ටියේ අසූචිදැයි බලන්න පරීක්ෂණ

ඉකුත් 12 වැනි දා හාලිඇළ, මැදගම, රීල්පොළ ප්‍රදේශයේ නිවසක් මතට කඩා වැටුණු බව කියන අයිස් කුට්ටියේ අසූචි බැක්ටීරියා මිශ්‍ර වී ඇත් ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා නැවතත් එහි සාම්පල ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ පරීක්ෂණ අංශයට ඉදිරිපත් කර තිබෙනවා.

වහල මතට කඩා වැටුණු අයිස් කුට්ටියේ අන්තර්ගත ජල කොටස් පරීක්ෂා කිරීම සඳහා ඉකුත් සතියේ ද එහි සාම්පලයක් ජලසම්පාදන මණ්ඩලය වෙත ලබා දුන් බවත්, එහි අඩංගු වන්නේ ජලය පමණක් බව එහි දී අනාවරණය වූ බවත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ජාතික පුවත්පතක් වෙත පවසා තිබෙනවා.

ඒ අනුව මෙම අයිස් කුට්ටිය අහසින් පහළට කඩා වැටුණ එකක් බවට අනුමාන කළ හැකි යැයි ද ඔහු එම පුවත්පතට පවසා තිබෙනවා.

එහෙත් ඉකුත් 2018 වසරේ ඉන්දියාවේ උතුරු හර්යාන් ප්‍රාන්තයේ ගම්මානයකට කඩා වැටුණු මේ ආකාරයේ ම අයිස් කුට්ටියක මිනිස් මලපහ අඩංගු වී තිබූ බවක් කියැවුණු බව වාර්තා කරන එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ, ගුවන් යානාවල මිනිස් මලපහ ගබඩා කිරීම සඳහා ඇති විශේෂිත ටැංකියක වූ කාන්දු වීමක් මත එම අසූචි මිශ්‍ර අයිස් කුට්ටිය කඩා වැටී තිබූ බවයි.

එබැවින් එම කාරණය පදනම් කරගනිමින්, මෙම අයිස් කුට්ටිය ද එවැනි හේතුවක් මත නිර්මාණය වී කඩා වැටුණු එකක් ද යන්න පරීක්ෂා කිරීම සඳහා මෙම පරීක්ෂණය කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එම පුවත් පතට පවසා තිබුණා.

ඊට අමතරව මෙම අයිස් කුට්ටිය සම්බන්ධ වැඩිදුර පර්යේෂණ කිරීම සඳහා එහි සාම්පල, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න වෙත ලබාදීමට ද නියමිත බව එහි වැඩිදුරටත් සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!