එකඟතා කඩවෙයි – ලිට්‍රෝ කලින් ම ප්‍රතිව්‍යුහගත කරන්න ලෑස්තියි

ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම එළඹෙන 2025 වසර දක්වා කල් දැමිය යුතු බව තීරණය වී තිබුණත්, එහි ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු නොනවත්වා ක්‍රියාත්මක වන බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව චෝදනා කරනවා.

එම එකමුතුව සඳහන් කරන්නේ, ඉකුත් පෙබරවාරි 06 වැනි දින මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේ දී අදාළ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු එළඹෙන වසරේ ජනවාරි මාසය දක්වා කල් දැමීමට ඒකමතිකව තීරණය වූ බවත්, ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් ඉකුත් 11 වැනි දා එය ලිඛිතව දන්වා ඇති බවයි.

එම තත්ත්වය නොසලකා හරිමින්, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව මාර්තු 15 වැනි දා ඒ සඳහා වන ආයෝජකයන් කැඳවීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් එම එකමුතුව සඳහන් කරනවා.

ඒ අනුව අදාල කටයුත්ත පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර සිටින ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව විමසා සිටින්නේ, අදාළැ සාකච්ඡාවේ තීරණ ක්‍රියාත්මක නොකර ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දැන් ම ම ක්‍රියාත්මක වන්නේ කුමන පාර්ශවයක වුවමනාව මත ද යන්නයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!