Rebuilding Sri Lanka අරමුදලට තවමත් ලැබී ඇත්තේ පොඩි මුදලක් .

සුළි කුණාටු ව්‍යසනයෙන් සිදුවූ හානිය අවම කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මුදල් වෙන් කර ඇති බව කම්කරු අමාත්‍ය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසීය .

“Rebuilding Sri Lanka” අරමුදල පිළිබඳව ඇතැමුන් ප්‍රශ්ණ මතුකළද, මහජනතාවගෙන් සහ විදෙස් ආධාර ලෙස ඊට ලැබී ඇත්තේ රුපියල් බිලියන 10 ක් වැනි ප්‍රමාණයක් බව ඔහු වැඩි දුරටත් පවසීය .

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2026 අප්‍රේල් 24 වන දින වන විට මෙම අරමුදලට රුපියල් මිලියන 9,583ක් (බිලියන 9.5කට ආසන්න ප්‍රමාණයක්) තැන්පත් වී ඇති බවයි. එම මුදල්
රටවල් 49ක වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ අනෙකුත් පරිත්‍යාගශීලීන් විසින් ලබාදී ඇති බවත්, ශ්‍රී ලංකා රජය වෙන් කළ බිලියන 500ක මුදල හා සැසඳීමේදී මෙය ඉතා සුළු ප්‍රමාණයක් බව ඔහු පෙන්වා දුන්නේය .

රජය බිලියන 500ක මුදලක් වෙන් කළේ අලුතින් මුදල් අච්චු ගැසීමකින් තොරව, රජය ඉතිරි කර ගත් මුදල් සහ පවතින මුදල් පාවිච්චි කරමින් බවත්, එමගින් උද්ධමනකාරී බලපෑමක් ඇති නොවීමට වගබලා ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සියලු මුදල් පෞද්ගලික ගිණුම්වල නොව, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ නමින් ඇති ඒකාබද්ධ අරමුදලට බැර කර ඇති බැවින් ඒවායේ ආරක්ෂාව පිළිබඳව කිසිදු සැකයක් තබා නොගත යුතු බව ඔහු සඳහන් කළේය.