නෙල්ලිගල වඳින්න ගිය බසයක් පෙරළෙයි – අයෙක් මරුට 37කට තුවාල

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් 38 දෙනෙකු රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

ඉන් බස් රථයේ රියදුරු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් අයෙක් මියගොස් තිබෙනවා.

ඊයේ (16) සවස් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ, පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේ දී යි.

බැතිමතුන් රැගත් බස් රථය, නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබිය දී බස් රථයේ රියදුරුට, රථය පාලනය කර ගැනීමට නොහැකිව මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් බස් රථය ගසක ගැටී එම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් රියදුරු ඇතුළු 38 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබූ අතර ඔහු හාල්පොළ, පුඩළුඔය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි අයෙක්.

තුවාලකරුවන් අතරින් බරපතළ තත්ත්වයේ සිටින දෙදෙනෙකු මහනුවර රෝහල වෙත මාරුකරු යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!