අවුරුද්දෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට සූදානමක්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දෙන් අනතුරුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, ග්‍රාම නිලධාරි ඇතුළු රාජ්‍ය අංශයේ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති කිහිපයක් විසින්.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළා.

වැටුප් විෂමතාව විසඳීම, අධ්‍යාපනයේ බර මවුපියන්ගෙන් ඉවත් කිරීම, පාසල් උපකරණ මිල පහත දැමීම, ගුරු – විදුහල්පති උසස්වීම් ලබාදීම, නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හකුළා ගැනීම යන ඉල්ලීම් ඒ අතර වනවා.

අවුරුද්දෙන් අනතුරුව කෙටි කාලයකදී අධ්‍යාපන අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව ඒ සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බව සඳහන්.

එමෙන් ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ ගුරුවරුන්ගේ වෘත්තීය සමාලෝචනය හා මොඩියුලර් සම්පූර්ණ කිරීම අප්‍රේල් 30 වනදාට පෙර අවසන් කළ යුතු බවයි.

එසේ නොකළහොත් මැයි මාසයේ සාමාන්‍ය පෙළ විභාගයෙන් නිමාවට පත් වීමෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යවරයා චක්‍රලේඛයක් මඟින් ගැටලු විසඳන බවට අප්‍රේල් මුල් සතියේ පැවැත්වූ සාකච්ඡාවක දී පොරොන්දු වූ බවයි.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා වෘත්තිය සමිති ක්‍රියමාර්ග සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව වසර දහයකින් සංශෝධනය නොකිරීම, සේවා ගැටලු නොවිසඳීම, ප්‍රමාණවත් දීමනා ලබානොදීම යන ගැටලුවලට අලුත් අවුරුද්ද අවසන් වීමට ඇති කෙටි කාලය තුළ රජය විසඳුමක් ලබා දිය යුතුයි.

එසේ ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවන බවටයි අනතුරු ඇඟවීමක් සිදු කළේ.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගේ හිඟ දීමනා ලබාදෙන බවට වර්තමාන ලංගම සභාපතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දී තිබෙන නමුත් මේ දක්වා එය ඉටුකර නොමැති බවයි.

සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව කෙටි කලක් තුළ එම දීමනා ලබානොදුනහොත් ලංගම සේවකයන්ට ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදුවනු ඇති බවයි සේපාල ලියනගේ මහතා අනාවරණ කළේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!