ලෝක කුසලානයක් අහිමි කළ ‘අතපසුවීමක්’ වසර 5කට පසුව හෙළිවූ හැටි

2019 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේ නවසීලන්තයට හිමිවීමට තිබූ ජයග්‍රහණයක් පිටියේ විනිසුරු තීරණයක් නිසා නිසා එංගලන්තයට හිමිවූ බව වසර පහකට පසුව අනාවරණය වී තිබෙනවා.

එම තරගයේ පිටියේ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ Marais Erasmus එංගලන්ත ටෙලිග්‍රාෆ් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් හෙළිකර තිබුණා.

එංගලන්තයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගත් අතර ජයග්‍රහී ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දු තුනේදී ලකුණු 9ක් ලබා ගැනීමට නියමිතව තිබුණා.

සිව්වන පන්දුවට බෙන් ස්ටෝක්ස් ලකුණු 2ක් කරා පැති මාරු කරගනිද්දී පන්දුව රැකගත් නවසීලන්ත ක්‍රිඩක මාර්ටින් ගප්ටිල් පන්දුව කඩුලු රකින්නා වෙත යොමුකළ අතර එම පන්දුව බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ දැවටී හතරේ සීමාව කරා ගියා.

විනිසුරුවන් පිතිකරුවන් ලබා ගත් ලකුණු දෙක සහ අතිරේක ලකුණු 2 සමග එංගලන්ත කණ්ඩායමට ලකුණු 6ක් එහිදී ලබා දුන්නා.

පිතිකරුවන් ලකුණ සම්පූර්ණ කළ බව සැලකෙන්නේ පන්දු රකින්නාගේ අතින් පන්දුව ගිළිහෙන අවස්ථාවේ පිතිකරුවන් පැතිමාරු කරගෙන සිටියහොත් පමණක් වුවද බෙන් ස්ටෝක්ස් සහ ආදිල් රශීඩ් දෙවැනි ලකුණ කරා පැති මාරුකරගෙන නොසිටි බව පසුව දැක ගැනීමට ලැබුණා.

ලකුණු සමවීම නිසා ලබාදුන් සුපිරි පන්දුවාරයේදීද ලකුණු සමවූ අතර වැඩිම හයේ සහ හතරේ පහර එල්ල කළ එංගලන්තයට ලෝක කුසලානය හිමිවුණා.

පසුදින ඔවුන් රැඳී සිටි හෝටලයේදී කුමාර ධර්මසේන ‘අපි කරල තියන බරපතළ වරද දැක්කද ‘ යනුවෙන් සඳහන් කළ බව Marais Erasmus පුවත්පත් සාකච්චාවේදී සඳහන් කර තිබෙනවා.

(Nick Hoult – telegraph වෙත ලියූ ලිපියක පරිවර්තනයකි )

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!