කුලියාපිටිය ඝාතනයේ සැකකරුවන්ට ඇප නැතිවෙයි

කුලියාපිටියේ තරුණයා ඝාතනය සම්බන්ධව බන්ධනාගාරය මඟින් ඉදිරිපත්කළ සිඟිති නමැත්තාගේ සහ ඔහුගේ බිරිඳගේ ඇප අවලංගු කිරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද (09) නියෝග කළා.

මුල් අවස්ථාවේදී සැකකරුවන් ට ඇප ලබාදීමට හේතු වූයේ පොලීසිය ඊට විරෝධය නොපෑම බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා එම දෙදෙනාව එළඹෙන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

එසේම සුසිත් ජයවංශගේ ඝාතනය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී ප්‍රධාන සැකකරු ලෙසින් සැලකූ පුද්ගලයාවද අද (9) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසිය පැවසුවේ පැමිණිල්ලේ කරුණු දැක්වීම මත ඇප ලැබූ සැකකරුවන් මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවන් වන නිසා නැවත ඔවුන්ව බන්ධනාගාර ගතකරන ලෙසයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා අධිකරණයට ලබාදුන් සැකකරුවන්ගේ හැඳුනුම්පත් පරීක්ෂාකළ මහෙස්ත්‍රාත්වරයා මුල් අවස්ථාවේ මෙම සැකකරුවන් අවශ්‍ය නොවන ලෙස පැවසුවේ පොලිසිය නොවේදැයි ප්‍රශ්න කරමින් වහාම කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව කැඳවන ලෙසට නියමකරමින් නඩුව පසුව කැඳවීමට නියම කළා.

අදාළ නඩුකරය පස්වරුවේ යළි කැඳවමින් මුල් අවස්ථාවේ සැකකරුවන්ට ඇප ලබාදීමට පොලීසිය විරෝධය නොපෑ හේතුව පිළිබඳව මහෙස්ත්‍රාත්වරයා විමසීමක් සිදුකළා.

සැකකරුවන්ගෙන් ප්‍රශ්නකිරීමට අවශ්‍ය බව පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියා.

එසේම අපරාධය සිදු වූ බවට තොරතුරු ලැබුණු පනිරෙන්ඩාව රක්ෂිතය වෙත මෙම නඩුවේ 6වන සැක්කරු රැගෙන යායුතු බවටත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ ප්‍රශ්න කිරීමටත් 6වන සැකකරු බන්ධනාගාර නිලධාරීන් බාරයේ තබා නම්කොට ඉල්ලා ඇති පොලිස් නිලධාරීන් කැටුව ගොස් ස්ථානීය පරීක්ෂාව සිදුකරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!