ඊශ්‍රායල් ජාතිකයින්ගේ මධ්‍යස්ථානවලට අවසර නෑ – අගමැතිනිය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ ආරක්ෂාව ඇතිව ඊශ්‍රායල් ජාතිකයින් මාතර සහ කොළඹ ප්‍රදේශවල ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකරමින් යන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී අද අනාවරණය කළ අතර එයට ප්‍රතිචාර දක්වමින් අගමැතිනි හරිනි අමරසූරිය පැවසුවේ මෙම මධ්‍යස්ථාන කිසිදු නීතිමය අවසරයකින් පවත්වාගෙන නොයන බවය.

මේවාට කඩිනමින් මැදිහත්වන බවද ඇය පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය

අද පත් වෙලා ඉන්නේ ප්‍රෝ පලස්තීන් ආණ්ඩුවක්. සමහර ආණ්ඩු ඊශ්‍රායලය සමග වැඩි සම්බන්ධතා පවත්වාගෙන ගොස් තිබුණා.

අද වන විට ලංකාවේ ප්‍රදේශ ගණනවක ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආගමික, සංස්කෘතික මධ්‍යස්ථානවලට ආරක්ෂක අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒවා හැදෙමින් තිබෙනවා. මාතර එවැනි තැනක් හැදෙමින් තියෙනවා. දෙහිවල අල්විස් පෙදෙසේ මේ වගේ ගොඩනැගිල්ලක් හැදෙමින් තියෙනවා.

කොළඹ 7 විශාල ගොඩනැගිල්ලක් ඉදිවෙමින් තිබෙනවා. මේ ගොඩනැගිලිවලට පැය 24 පුරාම පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව ලබාදෙනවා. මේ හදන ගොඩනැගිලි මොනවාද? මේ තරම් ආරක්ෂාවක් දෙන්න ලංකාවේ යුදෙව්වෝ ජීවත් වෙන්නේ නෑ. පහුගිය කාලයේදි අවසර ලබාදීලා මේ ගොඩනැගිලි ඉදි කරනවා.

මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මොසාඩ් එක එසවා කියන එක හොද දෙයක් නෙමෙයි.

මෙයට ප්‍රතිචාර දැක්වූ අගමැතිනිය සදහන් කළේ මේවා අවසරයෙන් පවත්වාගෙන යන ස්ථාන නොවන බවය. මේ රටේ සිටින සංචාරකයින් ආරක්ෂා කරගැනීමේ වගකීමක් පවතින බවද අගමැතිනිය සදහන් කළේය.

මෙම මධ්‍යස්ථාන කිසිදු අවසරයකින් පවත්වාගෙන නොයන බවද, ඒවාට කඩිනමින් මැදිහත් වන බවද අගමැතිනිය සදහන් කළාය.

සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි විට ආරක්ෂාව ලබාදුන් බවද අගමැතිනිය සදහන් කළාය.