මෙන්න දින තුනකට වසා තැබෙන පාසල්

එළැඹෙන පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරය , මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පිහිටා ඇති පාසල් 11ක් ලබන 18වෙනිදා සිට 20වෙනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එලෙස වසා තැබීමට නියමිත පාසල් වන්නේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි ජාතික පාසැල, වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවත්තකචේතිය ජාතික පාසැල, සහිරා ජාතික පාසැල, විවේකානන්ද මහා විද්‍යාලය, දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය, මිහින්තලේ මහා විද්‍යාලය, මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය යන විද්‍යාලයි.

එම පාසල් වසා දැමීමට තීරණය කර ඇත්තේ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා පිට පළාත්වලින් පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහායි.

අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව හා අනුරාධපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ විසින් උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කළ ඉල්ලීමකට අනුවයි එම පාසැල් මෙලෙස වසා තැබෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!