කෙහෙළියගේ පෙත්සම සලකා බැලීමට නව දිනයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 27වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (11) නියම කළා.

එම පෙත්සම ඉදිද්රිපත් කර තිබුණේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින්.

මෙම පෙත්සම අද කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේයි.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ, අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 27වනදා කැඳවන ලෙසයි.

පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමන්ව නඩු විභාගය අවසන්වන තෙක් බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.

එබැවින් එම තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!