අද ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසිවාර කිහිපයක් ඇතිවේ.

එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහඋතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇදහැලීමේ ඉඩකඩ පවතිනවා.

උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!