ජලසම්පාදනයෙන් බෙදන වතුර බිව්වොත් ලෙඩ වෙනවද? අලුත්ම කතාවක් එළියට

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් බෙදා හරින ජලය පානය කිරීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැළඳී ඇති බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මණ්ඩලය පවසනවා.

එහි සහකාර සාමාන්‍යාධිකාරී ඒ.පී.ආර්.ජේ. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ජනතාවට පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයන් යටතේ සිදුකරන පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව බවයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සපයනු ලබන ජලය පවිත්‍රකරණයෙන් පසුව, නිරන්තරයෙන් රසායනාගාර පරීක්ෂණයකට භාජනය කරන බවත් ඒ අනුව සිදුකරන පරීක්ෂණ අනුව ක්ෂුද්‍රජීවී විද්‍යාත්මක පරීක්ෂණ සහ රසායනික සියල්ල සිදුකරන බවත් ඒ මහතා පවසනවා.

එලෙස පිරිසිදු කරන ජලය ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල බවත් සාමාන්‍යාධිකාරි මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා පවසන්නේ , ”ඒ අනුව ඔය කියන කිසිදු රෝගකාරක ක්ෂුද්‍ර ජීවින් අන්තර්ගත නොවන පිරිසිදු ජලය තමා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන්නේ. ගංවතුර එක්ක මොන ජලය ආවත් අපි අදාළ පිරිසිදු කිරීම් කරලා ප්‍රමිතියෙන් යුතු පානීය ජලය තමා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන්නේ. ඒ නිසා කිසිදු බියක් ඇති කරගත යුතු නෑ.” යනුවෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!