අද සිට වෙනදා විදිහට දුම්රිය ආසන වෙන්කරන්න බෑ

අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන් ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම සිදුකළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුවනු ඇති.

වලංගු දුම්රිය ගමනක් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබාගැනීම පමණක් ප්‍රමාණවත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මීට අමතරව රාජ්‍ය සේවකයින් සඳහා හිමිවන නිදහස් බලපත්‍රය වෙන් කිරීමේ අවස්ථාවද මාර්ගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ අනුව www.seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හෝ මොබිටෙල්, හච් හා එයාර්ටෙල් යන දුරකථන ජාල හරහා 365 ඇමතීමෙන් ද, ඩයලොග් දුරකථන ජාලයෙන් 444 ඇමතීමෙන් ද, ටෙලිකොම් ස්ථාවර දුරකථන ජාලයෙන් 1265 ඇමතීමෙන් ද දුම්රිය ආසන වෙන් කර ගැනීමේ හැකියාව තිබෙනවා.

මීට අමතරව ‘Sri Lanka Railways Reservation’ යන ජංගම දුරකථන යෙදවුම හරහා ද ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම සලසා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙන බවයි පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!