සුදු කඩුවක් එක්ක ලංකාවෙන් හසුවූ ‘රත්තරං පුරෝ ගත්ත’ කුවේට් රටේ දේවාලයක කපුවා

රුපියල් ලක්ෂ 60 ඉක්මවූ රත්තරන් භාණ්ඩ පැළඳ නවීන පන්නයේ කේඩීඒච් වර්ගයේ වෑන් රථයකින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කුවේට් රටේ දේවාලයක කපුවෙක් බව කියන පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙක් ඇල්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී හමුවුණු ඉතා මුවහත් අඩි 04 කට ආසන්න දිගක් සහිත සුදු යකඩ කඩුවක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද (08) ඇල්පිටිය මහේස්ත්‍රාත් මධුෂිකා වාසලමුදලි මහත්මිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ රුපියල් ලක්ෂ විසි පහක (25,00000/-) මුදලක් පොලීසියට ලබා දී ඔවුන් පලා යාමට උත්සාහකල බවත් පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිනුක මධුෂාන් (38), ගයාත්‍රී චන්ද්‍රලතා (46) සහ චාමර පුෂ්පකුමාර (32) නැමැති තිදෙනායි.

මින් පළමු හා දෙවන සැකකරුවන් අඹුසැමියන් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා.

පොලීසිය ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල්වන හා පිටවන වාහන සෝදිසි කිරීමකට ලක්කර තිබෙන අතර පිවිසුමෙන් පිටතට පැමිණි නවීන පන්නයේ මෙම කේඩීඑච් වාහනය පරීක්ෂා කිරීමේදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත්බව වාර්තා වනවා.

සැකකරුවන් පැමිණි වාහනයේ කුවේට් රටේ හා ශ්‍රී ලංකාවේ ස්ටිකර් අලවා තිබූ බවත් මොවුන් ශ්‍රී ලංකිකයන් රට යවන ඒජන්සියක් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ඇල්පිටිය පොලීසිය පවසනවා.

ඒවගේම පළමු සැකකරු කුවේට් රටේ දේවාලයක් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුව තිබෙන බවද ඇල්පිටිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!