ඩෙන්මාර්ක අගමැතිනියට වීදියකදී ප්‍රහාරයක්

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර මධ්‍යයේ ජනතාව අතරින් ගමන් කරමින් සිටි ඩෙන්මාර්ක අගමැතිනී මෙට් ෆෙඩ්රික්සන් ප්‍රහාරයකට මුහුණ දුන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට පොලිසිය පවසන්නේ, නාඳුනන පුද්ගලයකු ඇයට පිටුපසින් ඇය අසලටම පැමිණ පහර දී ඇති බවයි.

එම මොහොතේදී අග්‍රාමාත්‍යවරියගේ ආරක්ෂක නිලධාරීන් එම පුද්ගලයා මෙල්ල කර පොලිසියට බාර දී තිබෙනවා.

ප්‍රහාරයට ලක්වුණු අග්‍රාමාත්‍යවරියට කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් ,ප්‍රහාරය හේතුවෙන් ඇය දැඩි ලෙස කම්පනයට පත්වුණු බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔහු අග්‍රාමාත්‍යවරියට පහර දුන්නේ ඇයිදැයි යන්න අනාවරණ වී නැහැ.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් පවසා ඇත්තේ, ඇයට පිටුපසින් පැමිණි එම පුද්ගලයා ඇයට ළං වී, ඇගේ උරහිසට අතින් ප්‍රහාරයක් එල්ල කළ බවත් , ප්‍රහාරය හේතුවෙන් ඇය විසි වී ඇද වැටීමට ගිය බවයි.

සිද්ධියෙන් පසු ඇය අවන්හලකට ගොස් කෝපි පානය කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!