පාසල් සිසුවෙක් මරලා – ඝාතකයාත් පාසල් සිසුවෙක්

හම්බන්තොට පොලිස් වසමේ සිප්පිකුලම ප්‍රදේශයේ දී පාසල් සිසුවෙක් විසින් තවත් පාසල් සිසුවෙකුට සිදුකළ පහරදීමකින් එම සිසුව ඊයේ (05) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පහරදීමෙන් පසුව හම්බන්තොට රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා මියයෑම සම්බන්ධයෙන් ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසනවා.

15 වන වියේ පසුවන බැද්දෙවෙල පාර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවායි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

එම සිසුවා හම්බන්තොට නගරයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඊයේ (05) උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා සිප්පිකුලම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී හම්බන්තොට ප්‍රදේශයේ වෙනත් පාසලක සිසුවෙකු අදාළ උපකාරක පන්තිය අසලට ගොස් 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාට පහරදී ඇති බව වාර්තා වනවා.

මෙම සිසුන් දෙදෙනා අතර පැවති ආරවුලක් ගැටුමට හේතුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවා මේ වනවිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.