ශිරාන් බාසික්ගේ සෝල් බීච් හෝටලය ගැන පොලීසියෙන් හෙළිදරව්වක්

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ශිරාන් බාසික් යන අයට අයත් බව කියන දෙහිවල සෝල් බීච් හෝටලය මීට මාස කිහිපයකට ඉහතදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩා ඉවත් කිරීමෙන් පසුව පසුගිය දිනවල නැවත ඉදිකිරීම් සිදුකර ගෙන ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයේදී සැකකරුවන් විසින් ඉදිරිපත් කර ඇති බදු ඔප්පුව ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට විමර්ශන නිළධාරීන්ට අනාවරණය වී තිබෙනවා.

පසුව නිලධාරීන් කණ්ඩායමක් ඉහත හෝටලය නැවත ඉදි කරන ස්ථානය වෙත ගොස් එහි ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන 2024 වසරේ 05 වන මස 14 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව එම සැකකරුවන් මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එසේම, මෙම ප්‍රශ්න සහගත ඉඩම රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමෙන් පසු එය රජය සතු ඉඩමක් බවට වාර්තා කර තිබෙනවා.

මෙම සැකකරුවන් පොදු දේපල පනතේ 5(1), 5(2) වගන්ති යටතේ ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 32 වගන්තිය සමග කියවෙන 433 වගන්තිය යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!