මෝදීගේ සන්ධානයෙත් අමාත්‍ය ධූර අර්බුධයක්

පසුගියදා පැවැත්වුණු ඉන්දීය මහමැතිවරණයෙන් අන්ද්‍රා ප්‍රාන්තයෙන් ආසන 16ක් ජයගත් තෙළිඟු දේසම් පක්ෂයට නව රජයේ අමාත්‍ය ධුර 5ක් අවශ්‍ය බව පවසා තිබෙනවා.

මේ බව එම පක්ෂයේ නායක චන්ද්‍රබාබු නායිදු භාරතීය ජනතා පක්ෂ සන්ධානයේ නායක නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මීට අමතරව ආසන 12ක් ජයගත් ජනතා දාල් (එක්සත්) පක්ෂයට අමාත්‍ය ධුර 3ක් අපේක්ෂාවෙන් පසුවන බව ද එරට මාධ්‍ය සඳහන් කරනවා.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස ඉන්දියාවේ නව රජයක් පිහිටුවීමට භාරතීය ජනතා පක්ෂය සහ හවුල් පක්ෂ එකමුතුව තීරණය කර ඇති අතර, එම සන්ධානයේ නායකයා සහ අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝදි නම් කිරීමට ද ඒකමතිකව තීන්දු කර තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂ සන්ධානයේ නව රජය පිහිටුවීම සහ අගමැතිවරයා ලෙස තුන්වැනි වරටත් නරේන්ද්‍ර මෝදි පත්වීම හෙට (8) සිදු කිරීමට නියමිතව තිබුණත් නව රජයේ අමාත්‍ය ධුර සහ සෙසු වරප්‍රසාද සම්බන්ධව එම සන්ධානයේ නායකයන් අතර ඊයේ දිනයේදීත් සාකච්ඡා පැවැති බව වාර්තා වනවා.

ඉන්දියාවේ රජුන් තනන්නෝ ලෙස ප්‍රකට තෙළිඟු දේසම් පක්ෂයේ සහ ජනතා දාල් පක්ෂයේ නායකයන්ගේ ඉල්ලීමට භාරතීය ජනතා පක්ෂ සන්ධානයේ එකඟතාව ඊයේ වන තුරු පළ වී නොතිබූ බවත් සඳහන් වනවා.

මෙවර ඉන්දීය මැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස ආසන 300 සීමාව පසු කිරීමටත්, පාර්ලිමේන්තුවේ බහුතරය අත්කර ගැනීමටත් භාරතීය ජනතා පක්ෂය බලාපොරොත්තු වුණත් ආසන 240ක් පමණක් ලැබීමෙන් රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 272 සම්පූර්ණ කිරීමට නොහැකි වුණා .

ඒ අනුව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ සෙසු පක්ෂ සමඟ එක්ව පාර්ලිමේන්තු ආසන 293ක් සම්පූර්ණ කරමින් නව රජයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!