ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩී රංජිත් කුමාර දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩී රංජිත් කුමාර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මියයන විට 77වන වියේ පසුවුණා.

ඒ.ඩී. රංජිත් කුමාර මහතා සරසවිය හා සරසි යන සතිපතා පුවත්පත්වල කර්තෘධුරය හොබවා තිබෙනවා.

ඒ මහතා දශක පහක පමණ කාලයක් පුරා දේශපාලන ක්ෂේත‍්‍රය ඇතුළු ජනමාධ්‍යයේ කටයුතුවල කටයුතු කර තිබෙනවා.

ඒ.ඩී. රංජිත් කුමාර මහතා කොළඹ කේරි විදුහලේ සහ කොළඹ ආනන්ද විදුහලේ ආදිශිෂ්‍යයෙකුද වනවා.

කොස්ගස්හන්දිය, ගාමිණී හෙළ සිනමා සක්විති, රුක්මණී දේවි යුගයක ස්වර්ණ ගීතය, සිංහල සිනමාවේ රිදී රේඛාව, නොව පැරණිය ලිපිසරණිය ඇතුළු පොත් ගණනාවක කතුවරයා වන්නේද ඒ මහතායි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔහු සරසවිය චිත‍්‍රපට උළෙලේ සහ සුමති ටෙලි සම්මාන උළෙලේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම සුමති සමාගම් සමූහයේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයත් හොබවා තිබෙනවා.

ඔහු දිනූ සම්මාන අතරට රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය අනුස්මරණ සම්මානය, සිරිල් සී. පෙරේරා අනුස්මරණ සම්මානය, ඕසීඅයිසී සම්මානය සහ සුමතිපාල අනුස්මරණ සම්මානය ඇතුළත් වනවා.

ඒ.ඩී. රංජිත් කුමාර මහතා සිනමාව පිළිබඳ පර්යේෂණවල නිරත වූ ඉතිහාසඥක් ලෙසත් හැඳින්වීමට හැකියි.

2017 වසරේ දී ජාතික චිත‍්‍රපට සංස්ථාව වෙතින් පිරිනැමෙන සිනමා සාහිත්‍ය උදෙසා වූ ජනාධිපති සම්මානයේ හිමිකරු බවට පත්වූයේත් ඒ.ඩී .රංජිත් කුමාර මහතායි.

සාහිත්‍යට ක්ෂේත්‍රයට,ජනමාධ්‍යට ,පුවත්පත් කලාවට මහත් සේවයක් කළ ඒ.ඩී .රංජිත් කුමාර මහතාණෙනි ඔබට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!