ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ අවසන් දිනය ලබන දෙසැම්බර් 14 වනදා දක්වා දීර්ඝ කරයි .

2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ අවසන් දිනය ලබන දෙසැම්බර් 14 වනදා දක්වා දීර්ඝ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතිබව වාර්තා වේ .

ඒ අනුව, මීට පෙර නොවැම්බර් 30 වනදා ලෙස නියම කර තිබූ අවසන් දිනය වෙනුවට තවත් දින 14 ක සහන කාලයක් ලබා දී ඇති බව සඳහන්.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව ආදායම් බදු සඳහා ලියාපදිංචි සියලුම තැනැත්තන් නොවැම්බර් 30 වනදාට පෙර සිය බදු වාර්තා ගොනු කළ යුතු වනවා.

කෙසේ වෙතත්, මෙවර ප්‍රථම වරට බදු වාර්තා ගොනු කරන පිරිස සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ RAMIS තොරතුරු පද්ධතියේ ඇතිව තිබෙනා තදබදය හේතුවෙන් බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයන්ට නියමිත කාලය තුළ බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී දුෂ්කරතා මතුව ඇති බවයි දෙපාර්තමේන්තුව පවස‍යි .

ඒ අනුව, දෙසැම්බර් 14 වනදා හෝ ඊට පෙර බදු වාර්තා ගොනු කරන පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් පැනවීම, පැහැර හරින ලද තක්සේරු නිකුත් කිරීම හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි .