රත්ගම හමුදා නිළධාරියා ඝාතනයට තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

පසුගිය 26 වනදා ගාල්ල, රත්ගම, මලියදුව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයකදී හිටපු යුද හමුදා නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .

මෙම වෙඩි තැබීමෙන් 47 හැවිරිදි ගාල්ල රිච්මන් කන්දේ, පදිංචි හිටපු යුද හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්විය . සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඒ අනුව ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු ඊයේ දිනයේදී (28) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට, මාගාල්ල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි . එම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ රත්ගම පොලිස් ස්ථානය ඒකාබද්ධව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.