සංවිධානාත්මක අපරාධ වැලැක්විමේ පනත ඇතැම් වගන්ති සංශෝධනයට නීතිපති එකඟතාවය පලකරයි .

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

එමෙන්ම බුද්ධිමය දේපළ වැරදිවලට අදාළව තිබෙන ප්‍රකාශන අයිතිය (copy. Right )අයිතිය පිළිබඳ වැරදි පමණක් එම පනත් කෙටුම්පතෙන් ඉවත් කිරීමට යෝජනා කර තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ ප්‍රතිඥ්ඥා දෙන ලදි .

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් විසි හයක් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම එකඟතාවය පලකරනා ලදි .

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත්දා ජනාධිපතිවරයා පවා මෙම පනත් කෙටුම්පතට සංශෝධන සිදුකළ යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ බව පෙන්වා දුනි.

තවත් පෙත්සම්කාර පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේශ් ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ යෝජිත සංශෝධන පිළිබඳව පෙත්සම්කාර පාර්ශවය දැනුවත් කිරීමෙන් පසුව වැඩිදුර කරුණු සලකාබැලීම සුදුසු බවය.