දේශපාලන බලය අල්ලන්න හැටි රනිල් යූ.එන්.පි යට කියා දෙයි .

වර්තමාන පක්ෂ දේශපාලනය තුළ සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැකි බවත්, සමගි ජන බලවේගය සමග එක් වීමෙන් පමණක් බලය ලැබිය යුතු නැති බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය . හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (30) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේද තුළින් පමණක් එවැනි ජයග්‍රහණයක් අත්කරගත නොහැකි බවය. දේශපාලන ජයග්‍රහණ කරා ගමන් කිරීමේදී නව පරපුරේ සහභාගිත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා, ඒ සඳහා Gen Z සහ මිලේනියල් තරුණ පරපුර ද එක්කර ගැනීම අනිවාර්යය බව පෙන්වාදුන්නේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස පැවසීය .

“නව ප්‍රතිරූපයකුයි, ඊට අදාළ ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න තිබෙනවා. දේශපාලනය දිහා බලනවානම් ලෝක දේශපාලනය වෙනස් වෙනවා. අපිට ඡන්දය දුන් අයගෙන් අනාගත ඡන්දදායකයින් මම බලන්නේ අද අවුරුදු 16-15 අයත් මේ ඡන්ද ලැයිස්තුවට ඇතුල් වෙනවා. එහෙනම් ඒ අයගේ මිලේනියම්, Gen Z.ඔතන තියෙනවා මිලියන 8ක් විතර. අලුත් කණ්ඩායම් ඉන්නවා අපි මේ කණ්ඩායම් ගැන හිතන්න ඕනේ. අපි මේ කණ්ඩායම් ගැන හිතලා ඉදිරියට යන්න තියෙනවා. පක්ෂයක් හැටියට අපිට අලුත් ප්‍රතිරූපයක් වුවමනායි. අපිට අවශ්‍යයි Gen Z කණ්ඩායමයි, මිලේනියම් කණ්ඩාමයි එකතු කරගෙන යන්න ඕනේ…

මේ වගේ අලුත් කණ්ඩායම් පැත්තකට දාලා අපිට යන්න බෑ. සාම්ප්‍රදායිකව යන්න බෑ එහෙම කළොත් මේ කණ්ඩායම නැති වෙනවා. මේ කණ්ඩායම එකතු වෙන්නෙ නැත්නම් සාම්ප්‍රදායික අයත් පැත්තට වෙලා ඉන්නවා මේගොල්ලෝ දිනන්නේ නෑ, දිනන්නේ චාන්ස් එකක් නෑ, වුවමනා නෑ කියලා… මම යෝජනා කළේ මේ අනුව පක්ෂයේ ප්‍රතිරූපය හදමු… සාම්ප්‍රදායික විදිහට ගිහින් මට නම් පෙනෙන්නේ නෑ දිනන්න පුළුවන් වෙයි කියලා .

සමහරු හිතනවා UNP ය සජබ යි එකතු වුණොත් දිනනවා කියලා ඒක එහෙම වෙන්නේ නෑ. ඒ ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ දැන්. අලුත් ඡන්ද දායකයින් අරගන්නේ නැත්නම් අපි කාටවත් ඉදිරියට යන්න බෑ. මම කියන්නේ සම්ප්‍රදාය ඉවත් කරලා අපි අලුත් විදිහකට යමු.”