වැඩබිමක සේවකයන්ගේ අයිතිවාසිකම් සහ අභිමානය මුදලින් මනින්න බෑ.

රටේ සෑම කර්මාන්ත ශාලාවකම, වැඩබිමකම සුරක්ෂිතතා සංස්කෘතියක් ගොඩනැගීමට සියලු දෙනා පොදු අරමුණෙන් කැපවිය යුතු බව කම්කරු අමාත්‍යය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

මිනිස්සුන්ගේ අයිතිවාසිකම්, වැඩබිමේ අයිතිවාසිකම්, ඔවුන්ගේ අභිමානය මේ කිසිවක් මුදලින් මනින්නට නොහැකි බවත්, ඒ සියල්ලටම වඩා උඩින් තියෙන්නේ මනුෂ්‍යත්වය, ශ්‍රමය සහ මේ සඳහා වන කැපවීම කියන කාරණය බවත් ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සතිය නිමිත්තෙන් නාරාහේන්පිට, කම්කරු අමාත්‍යංශ මෙහෙවර පියස ගොඩනැගිල්ලේදි අද (14) පැවැති උත්සවයකදි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.

එහිදි අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

”වැඩබිමේ සුරක්ෂිතතාව සහ ආරක්ෂාව පිළිබඳ කාරණයේදී සමාජයක වෙන්න තියෙන පිරිවැය අපිට අවම කරගැනීමේ ඉඩකඩක් තියෙනවා. එහිදී දේශගුණික විපර්යාසයන්ගෙන් වන බලපෑම පිළිබඳ සාකච්ඡාව ටිකක් පුළුල් එකක්. මේ ස්වරූපය පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලපුවාම මේක අපිට තනි තනිවම රටක් විදිහට, ආයතනයක් විදිහට ක්‍රියාමාර්ග අරගෙන නවත්තගන්න පුළුවන් එකක් නෙමෙයි. මෙය ගෝලීය පරිමාණයෙන් සිද්ධ වෙන එකක්. ඒ වගේම මේක නැවැත්වීම සිද්ධ කරන්නත් පුළුවන් වෙන්නෙත් ගෝලීය පරිමාණයේ එකඟතා, මැදිහත්වීම් මතයි. නමුත් අපි දන්නවා ලෝක ආර්ථික ක්‍රියාවලියකදී වෙළෙඳපොල, ලාභය, ධනය ගොඩගසා ගැනීමේ තරඟය වැනි තැන්වලදී අපි ගන්න ක්‍රියාමාර්ග, සමහර අවස්ථාවලදී යම් යම් රටවල් ගන්න ප්‍රතිපත්තිමය තීන්දු පරිසරය සම්බන්ධයෙන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී අපි ගන්න තීන්දු, ආණ්ඩුකරණයේදී ගන්න තීන්දු විසින් පරිසර විනාශයන් හෝ ගැටලු වලට ප්‍රශ්න නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ නිසා දැන් සාකච්ඡාවක් නිර්මාණය වෙමින් තියෙනවා කොහොමද සාමූහික ප්‍රයත්නයක් හරහා මේක අවම කරගන්නේ කියලා.

සමහර කාලගුණික විපර්යාසයන් තියෙනවා අපේ ක්‍රියාමාර්ගවලින් අවම කරගන්න පුලුවන්. නමුත් සමහර ඒ්වා අපහසුයි. අපි ආණ්ඩුවක් විදිහට හැමතිස්සෙම ප්‍රතිපත්ති සකස් වෙන්නේ පරිසරය සම්බන්ධයෙන්, සමාජය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති, අපි කැබිනට් එකට ඉදිරිපත් කරන සෑම පත්‍රිකාවකම පරිසරය සම්බන්ධ ප්‍රතිපත්ති වලදී මෙන්න මේ පුළුල් දෘෂ්ඨි කෝණයෙන්, මනුෂ්‍යත්වයේ දෘෂ්ඨි කෝණයෙන් තමයි මැදිහත් වෙන්නේ.

අනෙක් පැත්තෙන් අපි දේශගුණික විපර්යාස වලින් මේ වෙනකොට වෙලා තියෙන ගැටලුත් සිද්ධ වෙමින් තියෙන ඒවාත් අරන් බලනකොට අපිට පොදුවේ තර්කයක් කාට හෝ කියන්න පුළුවන් මේක ස්වාභාවික ඒවා, ඒවා නවත්තන්න බැහැ. ඒ පිළිබඳ යම් යම් න්‍යායාත්මක කරුණුත් තියෙනවා. හැබැයි ඔබ හොඳට විශ්ලේෂණය කරලා බලන්න මේ ගැටලු වලදී දේශගුණික විපර්යාස හෝ වේවා, ස්වාභාවික විපර්යාස වලදී අනතුරට පත්වීම ඒ සඳහා වූ මිළ වැඩිපුරම ගෙවන්නේ සමාජයේ හැකියාව නැති ආර්ථිකමය වශයෙන් අසරණ ජන කොටස. තීන්දුව ගන්නේ ඒ පරිසර විපර්යාසට, දේශගුණික විපර්යාසයට හානිය සිද්ධ වෙන තීන්දුව ගන්නේ සුළු කොටසක්. එහි බලපෑම මඟින් විනාශයට පත්වෙන්නේ ජීවිත අහිමි වෙන්නේ කිසිඳු ආකාරයකට ඒකට සම්බන්ධ නැති අසරණ කොටසක්. ඒක සමාජීය වශයෙනුත් අසාධාරණයි. අයුක්තිසහගතයි.

ඒ සඳහා දිට්වා සුළිකුණාටුව තමයි හොඳම උදාහරණය. එයින් මියගිය අයගෙන් විශ්ලේෂණය කරලා තිබුණා සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් ඉතාමත්ම අසරණ දුගී වාසස්ථානය පවා මූලික ආරක්ෂාවක් නැති අය. මේ කාරණය පිළිබඳ අප පළමුකොට දැනුවත්භාවය ඇති කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපේ ආණ්ඩුව මැදිහත් වෙනවා. අනිත් කාරණය නම්, සෞඛ්‍ය හා සුරක්ෂිතතාවය කියන කාරණා වැදගත් කියන එක අපි පුන පුනා කියන්න ඕනේ නෑ, ඒක අපි දන්නවා. ඒත් අපි නියෝජ්‍ය ඇමතිතුමත් සඳහන් කර ආකාරයට අපිට ඒක දැනෙනවාද? සෞඛ්‍ය වැදගත්ද? ආරක්ෂාව වැදගත්ද? කියන කාරණා වලදී මේක ටිකක් ප්‍රශ්නකාරී වෙනවා.

අපි ලෝකේ අත්දකිනවා, ලෝකෙ මේ වගේ තැන්වලට ඇවිල්ලා තියෙනවා, ජාත්‍යන්තර නිර්ණායක ඇවිත් තියෙනවා. වැඩබිමේ ආරක්ෂාව තියෙන්නට ඕනේ. එතකොට අපේ කම්කරු අමාත්‍යාංශය පැත්තෙන් ගත්තත් මේවට සම්මුතීන් තියෙනවා, ඒවාට අපි අනුමත කරනවා. අපරානුමැතිය කරනවා. අපි ලෝකයේ අත්දකිනවා. අර රටේ මෙහෙමයි ජපානයද යුරෝපයේ කොහේ හෝ රටකට ගියත් මේ වැඩබිම්වල හරි සුරක්ෂිතතාවය තියෙනවා. Ethical products කියන concept එක තියෙනවා. හැබැයි ඒවත් එකවර ආපු ඒවා නෙමෙයි කාලයක් එක්ක ආපු ඒවා.

මම එක උදාහරණයක් පැහැදිලි කරන්නම් මේ වැඩබිමේ සුරක්ෂිතාතාවය, ආරක්ෂාව පිළිබඳව. අපි සාමූහිකව හිතන්නේ නැති තාක් දුරට පොදු සමාජයක් විදිහට හිතන්නේ නැති තාක් දුරට හැමදේම මුදලින් මනින්න පුළුවන් කියලා හිතන තාක් දුරට විශේෂයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ අපිට අවසානයේදී ලාභය කියන දේ මත තමයි මේ සියල්ල ධාවනය කරන්නේ තාක් දුරට මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න හම්බවෙන්නේ නැහැ. මේකට මං හොඳ උදාහරණයක් ගන්නම්. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා, Ford Motors අද ලෝකයේ තියෙන කවුරුත් දන්න ආයතනයක්. මේ Ford වල එක වාහනයක් තියෙනවා, මේක ගැන 1970 දී ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් පැනනඟිනවා ඒ වාහනේ ටැංකියේ තියෙන ගැටලුවක් ගැන. ඒක හදන්න ඩොලර් 11ක් යනවා වැඩිපුර.

මේක Fix කරන්න ගත්තොත් ඩොලර් මිලියන 137ක් යනවා. ඊට පස්සේ දත්ත අරන් බලනකොට මේ විදිහට ගියාම වාහනේ ගිනි ගන්නවා. කොච්චර ගිනි අරගෙන තියෙනවාද? ඉදිරියේදී කොච්චර ගිනි ගන්න පුළුවන්ද? ගිනි අරගත්තොත් මිනිස්සු මැරෙන්න පුළුවන්. තුවාල වෙන්න පුළුවන්. එතකොට රටේ තියෙන නීතියට අනුව වන්දි ගෙවන්න කීයක් යනවාද? ගණන් හදලා බලපුවාම සූත්‍රය මෙහෙමයි. හදන්න යනවා ඩොලර් මිලියන 137ක්. වන්දි ගෙවන්න යනවා ඩොලර් මිලියන 47.5ක්. මොකද කරන්නේ? අපිට ලාභයි ආර්ථික දෘශ්ටි කෝණයෙන්. ඒගොල්ලෝ ඒ තීන්දුව ගන්නවා.

තනි තනිව හිතනතාක් දුරට ලාභය හිතන තාක් දුරට සියල්ල මනින්න පුළුවන් මුදලින් කියලා හිතන තාක් දුරට එහෙම තමයි තීන්දු ගන්නේ. ඒගොල්ලෝ වාද විවාද කරලා, මූල්‍ය විශ්ලේෂකයෝ තීන්දු කරලා කියනවා, අපි මේකේ වන්දිය ගෙවමු කියලා. වන්දිය ගෙවන්න තීන්දු ගත්තාට පස්සේ තමයි අවුරුදු 7ක් 8ක් ගියාම මේක ප්‍රශ්නයක් විදිහට සමාජය කතා කරනවා. 1977 වගේ තමයි මේ පිළිබඳ මාධ්‍යවේදීන් නඩු කටයුතු එහෙම ගිහිල්ලා තමයි ඔවුන්ට විශාල වැරදි වලට පසුකාලීනව තමයි මේකට මුහුණ දෙන්න වෙන්නේ. මුලින් වන්දිය ගෙවාගෙන ගියා නම් හරි ලාභයි වැඩේ. ඒ නිසා අප අවධාරණය කරගත යුතුම දේ තමයි. පළවෙනිම කාරණය මනුෂ්‍යත්වය. මිනිස්සුන්ගේ අයිතිවාසිකම්, වැඩබිමේ අයිතිවාසිකම් ඒ වගේ තියෙන දේවල් ඔවුන්ගේ අභිමානය. මුදලින් මනින්න බැහැයි කියන එක අපි ධාරණය කරන්න ඕනේ. මුදලින් මනින්න පුළුවන් කියලා හිතුවොත් මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ. ඒ සියල්ලටම වඩා උඩින් තියෙන්නේ මනුෂ්‍යත්වය, ශ්‍රමය සහ මේ සඳහා වන කැපවීම කියන කාරණය.

අපිට සහයෝගය තිබුණොත් එක අරමුණකින් බැලුවොත් පොදුවේ සමාජයක් විදිහට බැලුවොත් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. තනි තනිවම මගේ ව්‍යාපාරය විතරක් කියලා හිතුවොත් මේක හරි යන්නේ නැහැ. මොකද එක්කෙනෙක් සෞඛ්‍ය ආරක්ෂිතව වැඩබිමක් හදන්න ආරක්ෂිත විදිහට උපකරණ ටික ගෙනල්ලා දෙන්න ලොකු මිලක් යනවා. එතකොට ඔහු පමණ නම් කරන්නේ, තරඟකාරීත්වය ඇතුළේ කර්මාන්තකරුවෝ සියයක් ඉන්නවා, එක්කෙනෙක් කරනවා, දෙන්නෙක් කරනවා ඉතුරු 98ම කරන්නේ නැහැ. අර හොඳ එක්කෙනාට මොකද වෙන්නේ, ව්‍යාපාරය කරන්න බැහැ. බිඳවැටෙනවා. එයාත් ඒක කරන්නේ නැහැ. බහුතරය හොඳ දේ කළ යුතු වෙනවා. සාමූහික මැදිහත්වීමක් වෙන්න ඕනේ. අපි ඒ සඳහා වැඩපිළිවෙල සකස් කරනවා. ඇත්තටම ආණ්ඩුවේ දැක්මත් ඒකම තමයි. අපි මේ පසුගිය අවුරුදු දෙක ඇතුළත දී අපිට විවිධ චෝදනා ඒ වගේම අපේ ආණ්ඩුකරණය පිළිබඳ බය හැදුවා. ඔයගොල්ලන්ට මතක ඇති. සමහරවිට ඔයගොල්ලන්ටත් ඒ බය තියෙන්න ඇති. මොකද ගන්නා වූ ක්‍රියාමාර්ග තනි තනිවම හුදකලාව පෙනෙන්නේ නෑ.

අපි ආණ්ඩුව අවුරුදු දෙක ඇතුළත දී ගත්ත ප්‍රතිපත්තිමය තීන්දු, කරන ලද සාකච්ඡාවන්, මුදල් වෙන්කිරීම්, ජාත්‍යන්තර සම්බන්ධතාවයන් එකවර මහජනතාවට තනි තනිවම පෙනෙන්නේ නැහැ. ලැබෙන්නේ නෑ. එතකොට කාටත් හිතෙන්න පුළුවන් කෝ මුකුත් වෙලා නෑනේ. කලින් ආණ්ඩුවල නම් දැක්කා ලොකුවට පාරක් හැදෙනවා. ගොඩනැගිල්ල හැදෙනවා. වැඩක් නැතුවත් ගොඩනැගිල්ල තිබුණොත් අපි හිතනවා ආණ්ඩුව ඕක තමයි. ආණ්ඩුව කියන්නේ ඕක නෙමෙයි. පොදු ප්‍රතිපත්තිය. සාමූහිකත්වය වෙනුවෙන් ගන්න තීන්දු. අන්න අවුරුදු දෙක ගිය තැනදී මිනිස්සුන්ට ඒවා වල ප්‍රතිලාභත් මූල්‍යමය වශයෙන් එන ගමන්ම මේ වෙනකොට ඉතාමත්ම සුරක්ෂිත විදිහට ඒ ස්ථාවරත්වය අත්පත් කරගෙන ජාත්‍යන්තර තලයේ දැන් කිසිඳු ආයතනයක්, කිසිඳු රටක් අපි පිළිබඳ වැරදි විදිහට දකින්නේ නැහැ. වැරදි විදිහට දකින්නේ නැහැ විතරක් නෙමෙයි. අගය කිරීමකුත් කරනවා.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

වැඩබිමේ සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය සම්බන්ධ සංවාදය, සාකච්ඡාව සංස්කෘතියක් බවට පත්විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එය හුදු කර්මාන්ත හිමිකරුවන්ගේ පැත්තෙන්, නීතියෙන් ගැලවෙන්න පමණක් තීන්දු කරන තත්ත්වයට සීමා නොකළ යුතුයි. අවශ්‍යනම් පුළුවන් ගිනි ගැනීම වළක්වාලීමට ගිනි නිවන උපකරණ සවිකරන්න. නමුත් අපි හිතනවා ඒ්ක ප්‍රමාණවත් නැහැ. ඊට එහා ගිය සුවිශේෂි කැපවීමක්, දායකත්වයක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් සේව්‍ය පාර්ශවයෙන් ඒක අතිශය වැදගත්. කිසිවෙකු රැවටීමට, ඇස්බැන්දුම් කිරීමට ඒ් දේවල් කරලා වැඩක් නැහැ.

අපි අහලා තියෙනවා සමහර සාකච්ඡාවලදි, වැඩබිමේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් සේවක ආරක්ෂාවට විවිධ උපකරණ පාවිච්චි කරනවා, හැබැයි අපේ ඉං‌ජිනේරු මහත්වරුන් කම්කරු නිළධාරින් එම ආයතන පරික්ෂාවට යන විට පමණක් ඒ්වා පාවිච්චි කරනවා. ඊට පසුව එය අත්හැර දමනවා. අපේ නිළධාරින් , දෙපාර්තමේන්තුව රැවටීමට සමහරු එසේ කටයුතු කරනවා. සැබැවින්ම ආරක්ෂාව වෙනුවෙන් අදාල උපකරණ පාවිච්චි කළ යුතු වෙනවා.

මෙම කටයුත්තේදි සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම හොඳ කැපවීමක්, මැදිහත්වීමක් අවශ්‍යයි. එය හුදු නීතියට පමණක් කරන ප්‍රදර්ශන කටයුත්තක් නොවිය යුතුයි. සේවකයනුත් මේ පිළිබඳව වඩා වැඩි මැදිහත් වීමක් කළ යුතු වෙනවා.

රජය පාර්ශවයෙනුත් අප විශ්වාස කරනවා මෙය නීතියට පමණක් සීමා නොකර එතැනින් එහා යන කටයුත්තක් බවට පත්කර ගත යුතුයි. ඒ නිසයි මෙය සංස්කෘතියක් බවට අපි පත්කර ගත යුතුයි කියලා කියන්නේ. එහෙම නොවුනොත් මේ වෑයම සාර්ථක වෙන්නේ නෑ. සතියකින් දෙකකින් මේ සියල්ල අත් හරිවි. විවිධ අනතුරු නිසා ජීවිත 60-70ක් අහිමි වේවි. 2000 ක පමණ මාරන්තික අනතුරු දිගුකාලීනව සිදුවේවි. මෙම ඉලක්කම බිංදුව දක්වා අඩුකර ගැනීමට අපි කටයුතු කළ යුතුයි.

රටක සැබෑ සංවර්ධනය මැනිය යුත්තේ හුදු වැඩකරන ජනතාවට ලැබෙන වැටුප්වලින්, සේවක අයිතිවාසිකම් වලින් පමණක් නෙමෙයි. එම සංවර්ධනය තුළ වැඩකරන ජනතාවගේ ජීවන ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව අතිශයින්ම වැදගත් වෙනවා. උදෑසන නිවසින් නිරුපද්‍රිතව එන වැඩකරන ජනතාව යළි තම දරු පවුල වෙත නිරුපද්‍රිතව යන වැඩ පරිසරයක් නිර්මණය කළ යුතු වෙනවා. එය එසේ වු විට පමණයි, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළා කියන තහවුරුව අපිට ලබා දීමට හැකි වෙන්නේ.

“අවදානම දකින්න, අවදානම තක්සේරු කරන්න, අවදානම පාලනය කරන්න, සේවකයා ආරක්ෂා කරන්න “ අන්න ඒ පදනමේ සිට අපි වැඩ කළොත් මීට වඩා හොඳ වැඩ පරිසරයක් නිර්මාණ කරන්න ඉඩකඩ ලැබේවි. සුරක්ෂිත සේවා ස්ථානයක් යනු වරප්‍රසාදයක් නොව , තහවුරු කළ යුතු අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්.

කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියැද්ද සහ අතිරේක කම්කරු කොමසාරිස් (කර්මාන්තමය සුරක්ෂිතතා) ඉංජිනේරු ආර්. ජේ. අබේසිරිවර්ධනද අදහස් දැක්විය.