අනෝජන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන අභියාචනය සෞදියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරේ

අනෝජන් සිවරාසා මහතාගේ නඩුවට අදාළව සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන අභියාචනය මීට ස්වල්ප වේලාකොට පෙර එරට ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී ඇති බව වාර්තා වේ .

සෞදි අරාබියේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අද (11) දින මෙම අභියාචනය ගොනු කර ඇත.

මෙම අභියාචනය, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ. එල්. අමීර් අජ්වාඩ් මහතාගේ උපදෙස් හා සාකච්ඡා මත පදනම්ව, ශ්‍රී ලංකාවේ නීති විශේෂඥ කණ්ඩායම සහ සෞදි නීති කණ්ඩායම විසින් සකස් කරන ලදී.

ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවමට එරෙහිව සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අභියාචනය ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය විශේෂ නීතිඥ කණ්ඩායමක් සහ සෞදි අරාබියේ නීතිඥ කණ්ඩායමක් විසින් සාකච්ඡා වට කිහිපයක් පවත්වා සකසා ඇත.

මුහම්මද් නබිතුමාට අපහාස කිරීමක් ලෙස සැලකෙන ෆේස්බුක් (Facebook) සටහනක් හේතුවෙන් සෞදි අරාබි අභියාචනාධිකරණය විසින් සිවරාසාට මරණ දඬුවම නියම කරන ලදී.
මීට පෙර පහළ අධිකරණයක් මගින් ඔහුට වසර පහක සිර දඬුවමක් නියම කර තිබූ නමුත්, රජයේ නීතිපතිවරයා (public prosecutor) විසින් ගොනු කරන ලද අභියාචනයක් මත එම තීන්දුව අභියාචනාධිකරණය විසින් වෙනස් කරන ලදී.

අදාළ චෝදනාව ඉස්ලාමීය නීතිය යටතේ දෙවියන් වහන්සේට එරෙහිව සිදු කරන ලදැයි සැලකෙන “හද්” (Hadd) වර්ගයේ වරදක් ලෙස අධිකරණය විසින් වර්ගීකරණය කරන ලදී.
එම තීන්දුවෙන් අනතුරුව, සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් සකස් කිරීමට සහාය වීම සඳහා ශ්‍රී ලාංකික විශේෂ නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබිය වෙත ගියහ.

මෙම කණ්ඩායම සිවරාසාගේ නඩුව මෙහෙයවන නීතිඥවරුන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර නීතිමය කරුණු ඉදිරිපත් කිරීම් (legal submissions) අවසන් කිරීමට සහාය විය.

සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය එරට ඉහළම අධිකරණ ආයතනය වන අතර, එය පහළ අධිකරණවල තීන්දු ප්‍රධාන වශයෙන් නීතිමය සහ ක්‍රියා පටිපාටිමය පදනම් මත සමාලෝචනය කරයි.

මෙම ශ්‍රී ලාංකික නීති කණ්ඩායමට අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ අසාද් නවාවි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරු ඇතුළත් වූහ.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, ජෙඩා හි කොන්සල් ජනරාල් විනිසුරු මොහොමඩ් ලෆාර් සහ සිල්මි රියාස්දීන් යන මහත්වරු ද මෙම ක්‍රියාවලියට සහභාගී වූහ.
සිවරාසාගේ නඩුවට අදාළ කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුර තානාපති අජ්වාඩ් මහතා මීට පෙර බන්ධනාගාරයේදී ඔහුව හමුවී තිබුණි.