තම සැමියා නිවස ඉදිරිපිට සිට බලා සිටියදීම, වසර 14ක් තිස්සේ සේවයට යාම සඳහා භාවිත කළ බස් රථයටම යටවීමෙන් කොළඹ ජාතික රෝහලේ කාර්යභාර නිලධාරිනියක මරණයට පත්වූ පුවතක් බණ්ඩාරගමින් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ ජාතික රෝහලේ හෙදියක ලෙස කටයුතු කළ බණ්ඩාරගම, කළුතර පාරේ, ගල්තුඩේ ප්රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි තිදරු මවකි. මෙම අනතුර ඊයේ (10) අළුයම් කාලයේ සිදුව ඇත .
අනතුරට පත් හෙදිය තමා සේවයට යන බස් රථය පැමිණිමත් සමගම මාර්ගය හරහා ගොස් ඊට ගොඩවීමට උත්සහ ගැනීමේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
අනතුරින් පසු ඇය බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව, ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත. බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.