ජනතාව මත පැටවී ඇති බදු බර ලිහිල් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස, ඉදිරි වසර දෙක තුන තුළ අගය එකතු කළ බදු (VAT) අනුපාත අඩු කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය .
ඔහු මේ බව පැවසූවේ අලුතින් බඳවා ගත් ග්‍රාම නිලධාරීන් 1,540 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමිනි .
ඉහළ යන රාජ්‍ය වියදම් කළමනාකරණය කරන අතරම ජනතාවට වැඩි සහනයක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා අධ්‍යාපන කටයුතු සඳහා පොත් මිලදී ගැනීමේදී දරුවන්ට බදු බරක් දැරීමට සිදුවීම නුසුදුසු බව පෙන්වා දුන්නේය . ඒඅනුව අධ්‍යාපන සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, මත පනවා ඇති බදු ඉවත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. රාජ්‍ය අංශයේ සේවකයින්ගේ මූලික වැටුප් අදියර තුනක් යටතේ වැඩි කිරීමට ගත් තීරණය හේතුවෙන් 2027 වන විට රුපියල් බිලියන 330ක අතිරේක වියදමක් දැරීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.
නොවැම්බර් 12 වන දින ඉදිරිපත් කිරීමට නියමිත මීළඟ ජාතික අයවැය සකස් කිරීමේදී මෙම මූල්‍ය වගකීම් පිළිබඳව සැලකිල්ලට ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය .