රට සුවපත් කිරීම සඳහා හොඳම සේවා සපයන්නන් දරුවන් වන බැවින්, පියයුරු පිළිකා පිළිබඳව දේශය දැනුවත් කිරීම උදෙසා මියුසියස් දියණියන් පුහුණු කිරීමට ‘රෝස බදාදා’ දිනය යොදාගත් බව මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනි සංජීවනී බණ්ඩාර අද ( 07 වැනිදා ) ප්‍රකාශ කළාය.
මියුසියස් විද්‍යාලයේ ‘Pink Day Allies’ සංවිධානය මඟින් මෙහෙයවනු ලබන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහනේ ප්‍රථම සංවත්සර සැමරුම එම විද්‍යාලයේ පීටර් ද අබෲ ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදී විදුහල්පතිනිය මේ බව සඳහන් කළාය.
පෙර දැනුවත්භාවය ඔස්සේ පහසුවෙන්ම නිවාරණය කරගත හැකි පියයුරු පිළිකා සම්බන්ධයෙන් අතිශයින්ම අවදානමට ලක්ව ඇති කාන්තා පරපුර දැනුවත් කිරීම මඟින් සේවය සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූ බව විදුහල්පතිනිය පෙන්වා දුන්නාය. වසරක කාලයක් අඛණ්ඩව මෙම වැඩසටහන පවත්වාගෙන යාමේදී, සෑම බදාදා දිනකම රෝස පැහැති පාසල් ටයි පටියක් පැළඳ මියුසියස් දියණියන් පිළිකා කල්තියා හඳුනාගැනීම පිළිබඳ සමාජය දැනුවත් කිරීමට කැපවී කටයුතු කළ ආකාරයද ඇය මෙහිදී සිහිපත් කළාය. මෙම සත්කාරය සඳහා අනුග්‍රහය දැක්වූ ඉන්දිරා පිළිකා භාරයටද විදුහල්පතිනිය සිය ස්තූතිය පිරිනැමූවාය.
වසරකට පියයුරු පිළිකා රෝගීන් අලුතින් 6000 ක්
මෙම අවස්ථාවට එක්වූ පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර අදහස් දක්වමින් වසරකට පියයුරු පිළිකා රෝගීන් අලුතින් 6000 ක් පමණ අලුතින් හඳුනා ගන්නා බව කීවේය.
පියයුරු පිළිකා තමයි කාන්තාවන්ගේ අංක එකේ පිළිකා තත්ත්වය බවත් එයසංඛ්යාත්මකව ඉහළ ගොස් ඇතත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ සුව කිරීමේ ප්‍රතිශතය ද ඉහළ ගොස් ඇති බව හෙතෙම කීවේය.
ඒ සඳහා කරුණු 3 ක් අනුගමනය කල යුතු බව කී හෙතෙම පිළිකා මූලික අවස්ථාවෙ හඳුනා ගැනීම, නිසි ප්‍රතිකාර ලබා ගැනීම සහ සුදුසු පසු විපරමක් ඇති කිරීම එකී කරුණු ත්‍රිත්වය බව කීය. එසේ කළහොත් ප්රශ්නය වළක්වා ගැනීමට හැකි යැයි කී වෛද්‍ය සංජීව ගුණසේකර මහතා ඒ සඳහා ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගත යුතුයි යැයි කීවේය.
ඒ සඳහා ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය ( Sri Lanka College of Oncologists – SLCO) වෙබ් අඩවියට ගොස් දැනුවත් විය හැකි බවද හෙතෙම කීවේය. වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ මාසයකට වරක් මේ පරීක්ෂාව කර ගත යුතු බවත් ගැටලුවක් ඇතොත් වෛද්‍ය උපදෙස් සඳහා කටයුතු කර ගත යුතු බවත් ඔහු සඳහන් කළේය. නිසි ලෙස මේ පිළිබඳ දැනුවත් වීම තුළ පියයුරු පිළිකාවෙන් ඔබටත් ඔබේ පවුලටත් සහ රටටත් වන බලපෑම අවම කර ගත හැකි යැයිද පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර වැඩිදුරටත් කීවේය.
මියුසියස් දියණියන්ගෙන් ඉගෙන ගන්න .
උත්සව සභාව ඇමතූ ඉන්දිරා පිළිකා භාරයේ වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක සඳහන් කළේ මියුසියස් දියණියන් ඉටුකළ මෙම මානව හිතවාදී ප්රයත්නය ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වලට අනගි උදාහරණයක් බවයි. මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත් පියයුරු පිළිකාවෙන් පහසුවෙන් ගැලවීමට හැකියාව ලැබෙන බව පෙන්වා දුන් ඒ මහත්මිය, තරුණ වයසේදී පිළිකා රෝගයෙන් මියගිය සිය සහෝදරියගේ අත්දැකීම සිහිපත් කරමින් කියා සිටියේ පිළිකාව යනු එක් පුද්ගලයෙකුට පමණක් නොව සමස්ත පවුලකටම මහත් ශෝකයක් ගෙනදෙන ව්‍යාධියක් බවයි. අධ්‍යාපන කටයුතු අතරතුර මෙවැනි සමාජ සත්කාරයක අඛණ්ඩව යෙදීම අගය කළ ඇය, මෙවැනි ශෝකජනක තත්ත්වයක් තවත් පවුලකට අත්කර නොදීමට වෙහෙසුණු මියුසියස් දියණියන්ට සිය ආචාරය පුද කළාය.
මෙහිදී මියුසියස් දියණියන් කිහිපදෙනෙකුද අදහස් දැක්වූහ. අනතුරුව සිය දකුණත ළය මත තබා පිළිකා වැළැක්වීමේ ප්‍රතිඥාව ලබාදෙමින්, ඉදිරි වසරේදීද මෙවැනිම කැපවීමකින් ජාතිය පිළිකා රෝගයෙන් මුදවා ගැනීමට මියුසියස් දියණියන් පොරොන්දු වීමත් සමඟ උත්සවයේ කටයුතු නිමාවට පත්විය.


