සාධාරණ බදු ක්‍රමයක් ඉල්ලා වෛද්‍යවරු සහ වෘතිකයන්ගෙන් ජනපතිට යෝජනාවක්.

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් සඳහා සාධාරණ සහ යුක්තිසහගත බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එවන් බදු ක්‍රමයක් වෙනුවෙන් වන යෝජනාවක් තමන් විසින් මේවන විටත් ජනාධිපතිවරයාට ලබාදී ඇති බවත්, ඉදිරියේදී රජය ඒ පිළිබඳව සළකා බලනු ඇතැයි බලාපොරොත්තුවන බවත් එම සංගමය වැඩි දුරටත් පවසයි .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පසුගිය වසරේදී රජය රුපියල් බිලියන 5,400කට අධික බදු ආදායමක් උපයා ඇති බවත් එය මෙරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම බදු ආදායම බවත් ‍ය .

එමෙන්ම උපයන විට බදු ගෙවීමේ ක්‍රමවේදයේ යම් සංශෝධන සහ සහන ලබාදී තිබියදීත්, 2025 වසරේදී උපයන විට ගෙවීම් බදු ආදායම අපේක්ෂිත ප්‍රමාණයට වඩා සියයට 30 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.

දැනට පවතින බදු ක්‍රමය යටතේ තම වැටුපෙන් 36% කට ආසන්න ප්‍රමාණයක් සෘජු බදු ලෙස ගෙවීමට සිදුවන බවත්, ඊට අමතරව වක්‍ර බදු ලෙසද විශාල ප්‍රමාණයක් ගෙවීමට සිදුවීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින රජයේ වෛද්‍ය නිළධාරී සංගමය පෙන්වාදෙයි .