සමාජ මාධ්ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුම ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම විසින් අද (23) නිල වශයෙන් ආරම්භ කර තිබේ.
අනෝජන්ගේ ජීවිතය ඉල්ලා විශේෂ රාජ්ය තාන්ත්රික දූතයන් ලෙස මොවුන් දෙදෙනා කඩිනමින් සවුදි අරාබියට යැවීමට රජය ඊයේ (22) තීරණය කළ අතර, ඒ බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් ඊයේ පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්රකාශ කළේය.
මෙම මෙහෙයුමේ මූලික පියවර ලෙස ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම යන නීතීඥයින් දෙපළ අද දහවල් මාලදිවයිනේදී, ශ්රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු මෙන්ම මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු වන මොහොමඩ් නෂීඩ් හමුවී අදාළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
මෙම තීරණාත්මක සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති මොහොමඩ් නෂීඩ් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, අනෝජන්ගේ ප්රකාශය මුස්ලිම් සමාජයට බරපතල ප්රකාශයක් වුවද, අසරණ තරුණයෙකුගේ ජීවිතය වෙනුවෙන් තමන් ඔහු පිළිබඳව මානුෂීයව පෙනී සිටින බවයි. එමෙන්ම ඔහුගේ ජීවිතය ගලවාගැනීම සඳහා තමාගෙන් දිය හැකි පූර්ණ සහාය ලබාදෙන බවටද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සහතික වී තිබේ.
මාලදිවයිනේදී අද පැවති මෙම හමුව ඉතා සාර්ථක වූ බවත්, ඉදිරි දිනවලදී සවුදි අරාබිය බලා පිටත්ව යාමට තමන් සූදානමින් සිටින බවත් ජනාධිපති නීතීඥ උපුල් කුමරප්පෙරුම තහවුරු කළේය. ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්යවරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුවන මෙම තීරණාත්මක රාජ්ය තාන්ත්රික ගමන සඳහා ඔවුන් දෙදෙනාම රජයේ මුදල් වෙනුවට තම පෞද්ගලික ධනය වැය කිරීම විශේෂත්වයකි.