හෙට දිනයේ කාලගුණය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ නිකුත් කර ඇත .
එම නිවේදනයට අනුව හෙට (21) දිනයේදී බස්නාහිර, සඹරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව පැවසේ. හෙට දිනයේ දී ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත්, උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.
දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අන්දමන් ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇත. එම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව දැනුම් දී ඇත.
මේ අතර, ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.